Friday, November 3, 2017

2.නිසරු බිමෙහි දිය බිදක් සොයා

බිම් කැනීම ඇරඹී දින 3 කුත් රාත්‍රී 2 කුත් ගෙවී ගියේය. දෙතැනක පමණක් පසෙහි වියළි ස්වභාවය ක්‍රමයෙන් හීන වී ගොස් මඩ සහිත ස්වභාවයක් ගත් නමුත් ජල නිධියක සේයාවකුදු නොවීය.
භූමි ස්වභාවය අනුව ජලය පැවතිය හැකියැයි වඩාත්ම අනුමාන කල ස්ථානය දිගින් දිගටම කැනිය යුතු බව තීරණය කරන ලදී.
***
නිදි නොලැබ කනින සිව් වන දිනයට ළහිරු උදාවිය. පිරිසෙහි බලාපොරොත්‍තු කඩ නොවනු පිනිස ධනූද කැනීමේ කටයුතු සඳහා එක් වූයෙන් එයම පිරිස වෙත පොඳ වැස්සක් විය.
පස ක්‍රමයෙන් මොලොක් ස්වභාවයක් උසුලන්නට වූයෙන් පිරිස ඔඳ වැඩී වැඩෙහි නියැළුනු දක්නට ලැබිනි.
***
එක් වරම පිපිරුම් හඩක් ඇසුනෙන් දූවිල්ලක් පරිසරය වසා ගති. මොහොතක නිහැඩියාවක් සමඟින් ජලය අහසට නැගී සියල්ලෝම තෙමා පොගවා දමන ලද්දෙන් ඔල්වරසන් හඬක් පැතිරිනි.
***
ජල නිධිය විශාල නොවූවද ධනූ සෑහීමකට පත් විය. නමුත් ස්ථාවර තත්වයකට පත්වන තුරු ජලය ඉතාම ප්‍රවේශමින් පරිහරනය කල යුතු බැව් අවධාරනය කෙරිනි.
ජලය සම්බවූ දිනය පටන් නව රාජධානියේ ආරම්බක දිනය ලෙස ගත යුතු බවට තීරණය කරන ලදී. භූමිය සොයා ආ තැන් පටන් ලේඛන ගත කල යුතු බවට යෝජනා විය. ඒ සඳහා පිරිස් පත් කරන ලදී.
***
ජල නිධිය මැදිකොට ජලාශයක් ඉඳිකලයුතු බවට ධනූ තීරණය කල අතර පිරිසෙන් කොටසක් ඒ වෙනුවෙන්ද තවත් පිරිසක් ආහාර වගාව සඳහාද යොදවන ලදී. ආහාර වගා කිරීමට පළමු කුඩා දිය අඟල් සාදා ඒවා භූමිය පුරා විසිර යාමට සකසන ලදුව සති කිහිපයක් පුරා නොනවත්වා ජලය ගලා යාමට සළස්වා මඩ ස්වභාවයක් ඇති කොට වී වගාව ඇරඹීමට තීරණය විය. පොල් ගස් වගා කිරීම පිනිස ආහර සංචිතයේ තිබූ පොල් ගෙඩි ප්‍රමාණයක් පැළවීමට තැන තැන විසිරුවා දමන ලදී.

ධනූගේ දේශය - 1.කෙම් බිමක් සොයා

ඒ වන විට ලෝකයේ බොහෝ දාර්ශනිකයන්, මතවාද දරන්නන් සුලබ විය. පෘතුවි තලයේ විපර්‍යාස බොහෝ විය. යුද්ධ බොහෝ ගණනක් ඇතිවිය.  මුල් බිම් විනාශ විය. ප්‍රභල යැයි සම්මත රටවල් බිඳ වැටුණි. නව දේශාටන ඇරඹී තිබුණි. නව භූමි සොයා ඇදෙන නායකයින් සුලභ විය.

***

ඒ අතර වසර ගණනාවකට පළමු ලංකාව යැයි හැඳින්වූ බිමෙහිද  එක් ප්‍රදේශයක දේශාටනයක් ඇරඹී තිබුණි. අපි එහි නායකයා "ධනූ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඒකල  දහසකට තරම් ආසන්න කුඩා අනුගාමිකයන් රැසක් ධනූගේ දර්ශනය පිළිගෙන එය අනුගමනය කරමින් ධනූ සමඟ ගැවසෙන්නට විය. දිගු ගමනකින් වෙහෙසට පත්වූවද පිරිසෙහි නැවතීමක් නොපෙනින. ධනූගේ මතය පිළිගත් පිරිස ඔහුට ඉතා පක්ශපාතී බව පෙනින. නොයෙකුත් විපර්‍යාස හමුවේ හෙම්බත් වූ භූමි තලය දුහුවිල්ලෙන් පිරි නිස්සාර බිමක් විය. පෙනෙන තරම් දුර වියලි විය. සෑහෙන තරම් දුර ගිය නායකයා නැවතිනි. පිරිස ඉද්ද ගැසුවාක් මෙන් නැවතිනි.

***

භූමිය තෝරා ගන්නා ලදී. පළමු කොට කූඩාරම් ඇඳ වාඩිලා ගන්නා ලදී. සත්තු සර්පයින් ඇරුනු විට, ස්වභාව ධර්මයාගේ බාධාවක් ඇරුනු විට වෙනත් උවදුරක් නොපෙනින. මහා කූඩාරමක් තුල නව රාජධානියේ කටු සටහන් නිමවනු ලැබීය. පිරිසෙහි වූ දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් නොයෙකුත් ආකාරයේ ගෘහ නිර්මාණ අදහස් දැක්වූ අතර, නායකත්ව ලක්ෂණ පෙන්වූ කිහිප දෙනෙකු මූලික කොට කුඩා කුඩා කණ්ඩායම් බෙදනු ලැබීය. පිරිස් කළමනාකරනයේ මූලික සැකැස්ම මෙසේය.

1.ආහාර සහ ජලය සෙවීම සහ සෞඛ්‍ය සදහා
2.ආරක්ශාව සඳහා
3.ඉදිකිරීම් සඳහා
4.තීරණ ගැනීම සහ ගැටලු විසදීම සඳහා
5.මිනිස් බලය සඳහා

***
පෙනෙන තෙක් මානයේ නිසරු භූමිය වුවද ආරක්ෂාවට පවුරක් ඉඳි කලයුතු බව ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අදහස විය.

සියල්ලටම පළමුවෙන් ජල නිධියක් සෙවිය යුතු බව ධනූගේ අදහස වූයෙන් ඒ සඳහා අවශ්‍ය හැකියාවන්ගෙන් යුතු සහ දැනුමින් යුතු පිරිසකට එය පවරා මිනිස් බල පිරිස ඊට යොදවනු ලැබීය. මේ වන විටත් සන්තකයේ පැවති ජලය ඉතා සීමිත වූ බැවින් එය ඉතාම අවධානම් සහගත අවස්ථාවක් වුවද පිරිස නායකත්වයට අවනත වීමේ අවශ්‍යතාව හොඳින් දැන සිටි බැවින් කැරලි ඇති නොවීය.

***

මෙවැනි කාර්‍යයන් සඳහා දක්ශකම් දැක්වූ "ජලය සොයන්නන්" විසින් දිනය අවසන් වන විට භූගත ජල නිධි පැවතීමට ඉඩ ඇති ස්ථාන කිහිපයක් සළකුණු කල අතර මිනිස් බල කණ්ඩායම එම ස්ථාන කැනීම ආරම්ඹ කරන ලදී.

අවශ්‍ය වුවහොත් පහසුකම් සැළසීමට ආරක්ෂක කණ්ඩායම සහ සෞඛ්‍ය අංශ සීරුවෙන් තබන ලදී.

3.පවුර ඉඳි කිරීම

භූමියේ දේශ සීමා සළකුණු කොට දැවැන්ත පවුරක් ඉඳි කලයුතු බව ධනූගේ මතය විය. පෙනෙන තෙක් මානයේ වැලි සහිත නිස්සාර භූමිය වූ බැවින් දැව සෙවීම කලු නික සෙවීමක් විය. නමුත් නුදුරු දුරින් නිසැකවම කේතුධර නෑකම් කියන ගස් තිබිය හැකි බවට තර්කානුකූල නොවූ මතයක් ඇති වූයෙන් දැව ඇතිදැයි සොයනු පිනිස පිරිස් පිටත් කරනු ලැබූ අතර සීමිත ආහාර සහ ජල සලාකයක් සපයනු ලැබීය. පාගමනින් යාම ගැටලුවක් නොවීය තිබූ එකම ගැටලුව නිශ්චිත ඉලක්කයක් නොමැතිව ගමන් කිරීමට සිදු වීමයි.
***
දින කිහිපයක් ගත විය. දැව සෙවීමට ගිය පිරිස් පිළිබඳව සේයාවකුදු නොවීය. එතෙක් ආරක්ෂක විධි විධාන තර කරන ලදී. ලෝහ නිස්සාරනය කර අවි තැනවිය යුතු බව ධනූගේ අදහස වූයෙන් ඒ පිළිබඳ දැනුම ඇති අයවළුන් ඒ සදහා යොදවන ලදී. මේ නිසරු භූමිය පෙර සශ්‍රීකව පැවති බැවින් මෙන්ම ඛනිජ සම්පත් බහුලව පැවති හෙයින්ද භූමිය කැනිය යුතු බවට තීරණය විය. ඒ සඳහාද පිරිස් යොදවන ලදී.
***
ජල නිදිය හමුවී කලක් ගතවූ බැවින් මේ වන විට ඒ ස්ථානය ජලාශයක් බවට පත්කොට තිබිනි. එක කණ්ඩායම් නායකයෙකු විසින් ඒ ආශ්‍රිතව අල වර්ග කිහිපයක් වැවීමට කටයුතු කොට තිබීම ධනූගේ පැසසුමට ලක් විය.
මේ අතර ඈතින් පිරිසක් පැමිණෙන බව පෙනෙන බැව් ඔත්තු කරුවෙකු විසින් පවසන ලද්දෙන් ඒ පිළිබඳව සැමගේ අවධානය යොමු විය. තමන්ගේත් තම පිරිසේත් හොඳ කාලය උදාවී ඇති බව පසක් කරමින් ඒ පැමිණෙන්නේ දැව සොයා ඒමට ගිය පිරිස බැව් පෙනෙන්නට විය. ඔවුහු දැව කොටන් වැල්ලෙහි ඇදගෙන ඒමට අට්ටාල තනවා ඒ ඔස්සේ දැව ඇදගෙන එනු දුටු පිරිස තමා පැවසීමත් පෙරාතුව උපකාර වීමට ඒ දෙසට දුවනු දුටු ධනූ තම පිරිසෙහි සාමූහිකත්වය පිළිබඳ උදම් විය.

මගේ රට - ධනූගේ දේශය

ධනූගේ දේශය... ළඟදීම...


"මේ මහ පොළොවෙහි කොහේහෝ ධනූගේ අණසකට යටත්ව භූමියක් තිබුණේ නම් ඒ මෙසේ වනු ඇත."
මේ මගේ අලුත්ම කෙටි නව කතාව දැනට ඉතාම සුළු කොටසක් ලියලා ඉවරයි... මම කොටසින් කොටස පළ කරනවා.... ඔයාලගේ අදහස් මාව දිරිමත් කරයි...

මුලින්ම ලැබුන මහජන අදහස මෙන්න...


මහජනතාවගේ අදහස් නොවැ... ;p

ගිංතොට විත්ති - 01 අතීතාවර්ජන

ගිංතොට විත්ති කියන්නෙ මම උසස්පෙළ ව්‍යාපෘතියට ලියපු කෙටි නව කතාව. ඒකෙ පරිච්චේද 10ක් තියෙනවා. මම තීරණය කලා ඒක බ්ලොග් එකේ දාන්න. මේ පළවෙනි කොටස. ඔයාලගෙ කොමෙන්ටු මං බලාපොරොත්තුවෙන් ඉන්නවා...





විවර්තන සමරුකලාපය

බණ්ඩාරනායක අම්මා

විවර්තන කියන්නෙ අපේ ඉස්කෝලෙ වාණිජ සංගමයට පළකරපු සමරු කලාපය. මම ඒකට ලියපු ඒවා කිහිපයක් තමයි මේ.
" හැකිද ඔබට...
සිසිලෙන් ගත පිබිදුවද...
නිදි බරය මා සිත...
ඉදහිට ඇසෙන විහග නාදය පිරවුවද දෙසවන්...
නොපිරේ සතුට සිත්සේ...
ඇවිද යමි කීකරුව; දෙපයේ අණට...
නොදනිමි යන අයුරු හෝ දිශා...
ගිගුම් දෙන ඔබට හඩ නගා...
හැකිද මා තැවීමට...
මහ වැසි ඇද හෙලා..."
"ගිලිහී යන තෙක්...
කවුලු හැර බලමි බැහැර...
කොළ සිදුනු ගස එක් පතක් ලෙලෙවා මා දෙස
බලයි මදසින්...
ලෙලෙන පත සිනසේ මට ජය ගත් බැව් අගවමින්...
සුළග දැඩිවී හමයි දැන්
"අහෝ ආඩම්බරකාර පත්රය"!
කියනු දැන් නුබ කොහිද"
"වියළී යාමට මත්තෙන්...
වැහි බිදුවක් ගෙන ලියමි...
වියළී යාමට පෙරාතුව...
විසිරුනු සිතුවිළි කැටිකොට...
පවසමි හැගුම් සගවා...
තෙමූවද මා සුරත දිය බිදු...
පෙර ලියූ පද මැකී යන මුත්...
ලියමි අවසන් කරනු වස්...
මා හගි සිතුවිලි...
හැඩි දැඩි පුවරුවේ වෙර සිද දමා..."
(විවර්තන 2015 වෙනුවෙන් ලියන ලද්දකි)

අහඹු සිතැඟි - whatsapp




වට්ස්-ඇප් හරහා මගේ යාළුවන්ට යවපු ඒ ඒ වෙලාවෙ මගේ හිතේ පැළපදියම් වෙච්ච සිතුවිළි. ඔයාලගේ අදහස් කියන්න මට...

Friday, October 27, 2017

පහන් කණුව පාමුල

වීදියේ කොනේ පාලු කෙළවරක පහන් කණුව පාමුල කෙනෙක් ඉදගෙන ඉන්නව මම දුර තියා දැක්කා. ඒ රූපය මට දැකලා පුරුදුයි. ඔව් ඇත්තමයි. ඒ මම!!! තවමත් බලාගෙන ඉන්නව? මට පුදුමත් හිතුනා. එහෙම බලන් ඉන්නව නේද කියලා හිතුනම. මම ගිහින් එයාගෙ කරට අත තිබ්බා. මම මගෙ දිහාට හැරෙන කොටම වාඩිවෙලා හිටපු මම අතුරුදහන් උනා. හිටගෙන හිටපු මම ටිකක් තිගැස්සුනත් ඒ බව නොදැනෙන්න වට පිට බැලුවා. මම හැමතැනම ඉන්නවා. ඒ මම මගේ දිහා බයාදු බැල්ලමකින් බලං ඉඳලා බොඳ වෙලා ගියා.



වට්ස්ඇප් ප්‍රතිචාර ලැබුනා මුලින්ම රවිහංසගෙන්, ඊළඟට දෙව්මිගෙන්..

රවිහංස මගෙන් තේරුම ඇහුවම මම තේරුම ස්ටේටස් දැම්මා, දෙව්මි ඒකට කමෙන්ට් කරා, ස්තූතියි යාලුවනේ...



රවිහංස මගෙන් තේරුම ඇහුව






ඒ කියන්නෙ මචං මනස ව්‍යාකූල උන වෙලාවක්... උඩු සිත වෙහෙසිලා ඉන්නෙ... එයාට පේනවා එයාවම පාරේ ලයිට් කනුවක් ගාව බිම වාඩි වෙලා ඉන්නවා. ඒ වාඩි වෙලා ඉන්නෙ යටි හිත. යටි හිත ව්‍යාකූල නෑ ප්‍රකෘති තත්වයේ ඉන්නෙ, ඉතින් අර විඩාපත් උඩු හිත යටි හිත ගාවට ඇවිත් කරදරයක්ද කියල අහන්න හදද්දි යටි හිත එතනින් අතුරුදහන් වෙනව.
 ඊට පස්සෙ උඩු හිත ගැස්සිලා යනවා. උඩුහිත පියවි තත්වෙට එනවා එයාට පේනවා විඩාපත් තමන් දිහා කට්ටිය බලන් ඉන්නවා අනුකම්පාවෙන් වගේ. ඒ බලන් ඉන්නෙ එයාගෙම යටි හිත... යටි හිතේ තියෙන නොයෙක් ස්වරූප. එච්චරයි. මීනිං 1 අපි කොච්චර ස්ට්‍ර්ස් එකේ හිටියත් යටි හිත ඒ ස්ට්‍රෙස් 1 නැති කරගන්න ට්‍රයි කරනවා හැමවෙලේම, හරියට නින්දයාගෙන එනකොට මූනට වතුර ගහනවා වගේ"


මම තේරුම ස්ටේටස් දැම්මා

දෙව්මි ඒකට කමෙන්ට් කරා



Wednesday, October 25, 2017

ඈ යෙහෙලිය

සිප් පුරන කල හමුවෙලා
හොරැහින් මා දෙස බලා
සිහින් නිල් මිණි නෙත් සලා
තුරුණු සිත මා මත් කලා

කල් ගොසින් පියඹලා
ඈ වෙසින් සුරඟනා
පා මුකුළු කෙළියෙනා
ඇගෙ දසන් දක්වලා

ඉඳ හිට තරහ පෙන්වලා
මගෙ හිත රිදවලා
ඇගෙ සිත පෑරිලා
හඬයි දැරියක විලසිනා

දෙතොල් නා දළු පරදනා
කොපුල් ගැසි වල නිතැතිනා
කිකිණි මිණි කිකිණි හඬවලා
ඈ හිදී මා කළඹලා

මගේ හිත සවි කොට
නිතර ළඟඋනි තනියට
පෑ මුකුළු කළි කවට
දැනුදු අමතක නොවේ මා හට


මා පතිනි පුතුගේ මව විය

සිඹ මා පුතු ආදර බස් දොඩලා
මා වැනි යැයි සතොසින් ඔඳ වඩලා
කියමින් අඟනා බැව් ඔහු අත් බැඳලා
බලයි යටැසින් මා වෙත ඉඟි කරලා

ගෙනවුත් මට පුතෙකු මා පියෙකු කර
දුන්නා ඇගේ මුලු දිවියම යටත් කර
පුරවා මා සිතම මහ සත් සමුදුරෙන් වට
ඇගෙ සෙනෙහෙ මිණි පහනක් විය මෙමට

බිඳුනු විටදි මා සනහා තෙපුල් සලා
රන්දා මගේ මුලු සිහිනම තෙරක් පුරා
නොවුවත් මා සිදුහත් ඈ මට යසෝධරා
රැකගමි මගේ පතිනිය මා උදුම්බරා


Tuesday, October 24, 2017

ඈ බිරිද

හොරැහින් ඉඟි කරන
පුංචි සැරයට කඳුලු පිරෙවෙන
සිහින් මොළකැටි ලද බොළද
නීල දෑසක් මවෙත දල්වන

උණුහුම හොයන
මා ලයෙහි සඟවන
පිරුණු සඳ වන් මුව මඬල
හොවා මා පුබුදින

කවට කරමින් දගයට
නිවන මා වෙහෙස
පුරවමින් දිවි මිහිර
ළදෙකි මට පින්බර
 

Thursday, October 12, 2017

අන්දරේ සහ සීනි වර්ශන්2.0 - III

ඕ ඉතා රූමත් එකියකැ
කවුරුන් වුව නිදන්නේ නම් බාධා නොකලමැයි සිතූ ධනුකයේ කිසිත් නොකී, වීදි සංචාරයට ගියහ.
***
ඉදින් ධනුකයන්ගේ වීදි සංචාරය ගැනද යමක් නොකියන්නේ නම් මේ නීරස වන්නේයැ. ඉදින් ඒ කෙසේද යත් ඒ මෙසේ දැනගත යුතුයි.
***
ධනුකයෝ වූ කලී වීදි සංචාරයට ඉතා ප්‍රිය කඩචෝරු වලට පෙම් බැදි ගමේ කොල්ලෙකි. එහෙයින් හේ දකින දකින කඩ වලට දුවන්නේ නොඑක් දෑ ගිලින්නේය.
එසේ යනෙන එක් කඩෙයක අඹ විකුනන කෙල්ලක උන්නාය. ඕ ඉතා රූමත් එකියකැ, ධනුකයෝ වනාහි මහා ආඩම්බර කාරයෙකු වූයෙන් කෙල්ල දෙස නොබලාම, "අඩී කෙල්ල මටද අඹයක් කප්පවා දෙව" යි ඉල්ලූහ.
එකල්හී ධනුකයන්ගේ මේ දැඩි හැසිරීමෙන් රතු වූ මුහුණ ඇති කෙල්ල විළියෙන් ඇඹරෙන්නට වන්නී, ධනුකයෝ රාජ තේජස් මවා "මං තිගේ හැඩ බලන්නට හෝ සැට් කොර ගන්නට මෙහි නොආවෙමි. ඉදින් මට තිගේ ලොකු සීන් අදාළ නොවන්නේ වහාම අඹය දෙව" යි ගුගුලහ.
ඉදින් එකල්හී ඒ අහිංසක.... ( :p ) නාදලු මෙන් දෙතොල්ද, සුදු සදුන් ලීයෙක මෙන් සමද, නීල මාණික්‍ය මෙන් වූ ඇස්ද, කිතුල් රෑන මෙන්වූ කේෂ කලාපයද ඇති ඒ කෙල්ල ලැජ්ජාවෙන් රතුවී අඹයක් කප්පවා දුන්නෙන් ධනුකයෝ ඒ කමින් යලිදු මගට බට.
***
ඉදින් ධනුකයෝ සැන්දෑවේ යළිදු එන්නේ උදයේ ස්වකීය සිංහාසනයේ ලැග හුන් අන්දරේ නොදක්නා ලද්දෙන්, අන්දරේ ඉස්කෝලෙ කෙල්ලක සමග මල් කඩනුදැයි ඇතිදැයි සැක සිතී ඒ රාජ පුරුෂයෙකු යවා පිරික්සූහ.
රාජ පුරුෂ තෙමේ හති දමමින් දුව එන්නේය.
ඒම්බා කොල්ල, තෝ පසු පස බලු තඩියෙකු එන්නේ දැයි විමසූහ.
එකල්හී රාජ පුරුෂ තෙම ධනුකයාණෙනි අන්දරේ අප වේලෙන්නට දැමූ සීනි කන්නේය. වහා ගොස් බලනු මැනැයි කීය.
ධනුකයෝ සිය පිරිවරද කැටිය ඒ දෙසට යන්නේ බිම වාඩිවී හැදෙකින් සීනි කමින් හුන් අන්දරේ දක්නා ලද්දාහ.
"ඒම්බා අන්දරේ නුබ මෙසේ හැන්දෙකින් සීනි කන්නේ මන්දැයි නොවලහාම කිව"
"ධනුකයාණෙනි මා මේ මුහුදු වැල්ලේ එක් රහසක් සොයා ගතිමි. මේ වූ කලී මායා වැල්ලකි ඒ හැන්දෙකින් බුදිනා කල්හී පැණි රස වන්නේයැ. නුඹ වහන්සේට මේ නිෂ්පාදන කරුමාන්ත සාලාවක් තැනවිය හැකිනම් මා එහි චීප් ඇක්සැකටිව් වී මේ කරන සැටි පෙන්වමි"
ඉදින් එකල්හී වැඩේ අතේ පත්තු වූ බැව් අවබෝධ කර ගත් අපගේ ධනුකයෝ ස්වකීය රාජ ලීලය පසෙක තබා අන්දරේට ලංවී මෙසේ කීහ.
"ඉදින් අමුතුවෙන් කරුමාන්ත සාලාවක් අවැසි නොවන්නේයැ. මා මින් පසු සීනි පරිභෝජනය තහනම් කරන්නට තීරණය කලෙමි. ඉදින් අවැසි නම් මේ වැලි රැගෙන යව"
නිමි.

අන්දරේ සහ සීනි වර්ශන් 2.0 - II

ධනුකයන්ගේ සෝපාවෙහි තමන්ගේ මෙන් නිදන්නට වන්නේය
අපෙගේ ධනුකයෝද,
"එම්බා නරය තොප වහසි කියන්නේ කෙලින්ම ඉල්ලී වී නම් මාගේ වයි ෆයි පාස්වර්ඩය දෙන්නැමැයි" කියූහ.
****
ඉදින් එකල්හී සොරාට පෙර කෙහෙල් කැන් වැට පැන්න කලෙක මෙන් ඇඹරෙන්නට වූ අන්දරේ තෙමේ "මාගේ ජංගමයෙහි ඩේටා නම් බොහෝ ඇත්තේය, කාගෙන් වුව ලැබෙන වයි ෆයි පාස්වර්ඩ් නුවුවමනායයි" කිවුය.
එකල්හී රාජ තේජසින් ඔද වැඩි අපගේ ධනුකයෝ... "තෝ මාගේ ෆ්‍රී වයි ෆයි කලාපයට රිංගීමට තැත් කලේ නොවීදැයි ඇසූහ."
අන්දරේ තෙමේ කවියෙකින්ම පිළිවදන් දෙන්නෙමැයි කියාලා මෙසේ ගැයුය..
ෆෝ ජී රේන්ජ් රවුටර් ලැප් තිබුන මට...
නිකක් ලැබෙන ෆ්‍රී වයි ෆයි කුමකටද...
ඉදින් රජුනි මගෙ මන දොළ නිවෙන්නට...
පැදුරේ වනා ඇති දේ කියන් මට...
එකල්හී අකාල පරිනත තුච්ච කූට බුද්ධියකින් හෙබි අපගේ ධනුකයෝ ඒ කාව්‍යයෙහි අරුත් සැනකින් වටහා ගති.
"ඒම්බා අන්දරේ තොට එයින් ඇති ඵලය කිම? ඒ නම් මුහුදු වැලිම වන්නේ, රාජ මිදුලේ ඇතිරුමට ගෙන එන ලද්දේමය" යි කීහ.
අන්දරේද කට කොනින් ටියුෂන් ක්ලාස් යන කෙල්ලන් දෙස බලන රස්තියාදුකාරයෙකු මෙන් ධනුකයෝ දෙස බලා , මැක්කන්ට ඕනෑ නම් ඕනෑ හැටියට කාපුවාවේයි සිතමින් නැටි හකුළුවා ගත්  බළල් තඩියෙකු මෙන් එසේයැයි කියමින් රාජකීය සාලය දෙසට  වන්නේ ඒ.සී. දමාගෙන ධනුකයන්ගේ සෝපාවෙහි තමන්ගේ මෙන් නිදන්නට වන්නේය.
කවුරුන් වුව නිදන්නේ නම් බාධා නොකලමැයි සිතූ ධනුකයේ කිසිත් නොකී, වීදි සංචාරයට ගියහ.
(ඉතිරි කොටස බලාපොරොත්තු වන්න)

Monday, October 9, 2017

අන්දරේ සහ සීනි වර්ෂන් 2.0 - 1 කොටස

ඉස්කෝලෙ යන කෙල්ලන් සමඟ මල් කඩනු මා කෙසේ නිහඩව බලා හිදිම්ද
එක් දිනෙක අපගේ ධනුකයෝ ස්වකීය මැදුරු භූමියේ ෆ්‍රී වයි ෆයි කලාපය ආසන්නයේ වයිට් ෂුගර් පැදුරක් වනා තැබුවෝය. ඉදින් ඒ මැදුරෙහි සිරි වනනු නම්, උත්තර දිශාවෙන් මනරම් මල් වත්තෙක්ද, දක්ඛින දිශාවෙන් වැස්සට ඇවිස්සෙන මඩ වලෙක්ද, බටහිර දිගින් රාජ රථය වූ හද්ද ඉන්දියන් මරුටියක් සහිත ගරාජයද, නැගෙනහිරින් ප්‍රවේශ වීථියද වන්නේය.
ඉදින් ධනුකයෝ රාජ තේජස් දක්වමින් රාජ භවනේ සක්මන් කරන්නේ, සේවකයෝ ස්වකීය ඇපල් එක්ස් ස්මාර්ට් ෆෝන් වලින් අන්තර් ජංජාලේ ලැග ෆේස් බුකියේ කෙල්ලන් සමඟ චැට් කොරමින් සිටිනු දැක දෙකනින් දුං දමමින් ගෝරනාඩු කරන්නට වන්හ.
"ඒම්බා රාජ පුරුෂයිනි තොපි මෙසේ ඉස්කෝලෙ යන කෙල්ලන් සමඟ මල් කඩනු මා කෙසේ නිහඩව බලා හිදිම්ද වහා මටත් වහ වහා තොපගේ කෙල්ලන්ගේ ප්‍රොෆයිල් නොවලහාම සජෙස් කල යුතු" යැයි ගෝරනාඩු කරන ලද්දාහ.
ඉදින් රාජ පුරුෂයෝද යහපතැයි කියා ඒ කෙල්ලන් සජෙස් කරන ලද්දෙන් රාජ පුරුෂයෝ අන්තර්ජංජාලේ එල්ලී ස්වකීය රාජකීය ඩේටා ප්‍රමාණය ඉවර කරනු ගැනද උරන නොවූහ.
කල් මෙසේ ගත වන්නේ ධනුකයෝ සැන්දෑවේ සුවපහසුව රාජාසනාරූඪව කාටූන් බලන්නට වන්නාහ. ඉදින් ඒ රාජාසනය ගැනද වචනයක් කිව මනාය.
ඒ වූ කලී ධනුකයන්ගේ හිත මිත්‍ර සුලාජ් නම් වූවගෙන් ලද ත්‍යාගයක්ම වන්නේ මොරටුවෙහි තනවන ලද්දේය. සිංහ පා සතරෙකි, මනාකොට කැරකෙවිය හැක්කේය,රාජකීය ජංගම දුරකතනය ඔරලෝසුව චාජ් කිරීමට රනින් නිමවූ යූ.එස්.බී ෆෝට් සතරෙකි,රාජකීය ලැප්ටොප් එක තැබ්බවීමට තැනූ ආධාරකයෙකි, රන් රිදී මිණි මුතු වුව ඒ හා සම කරනු නොහැක්කේය. ඉදහිට රාජකීය මකුණන්ද කන්නේ දනුකයෝ රාජකීය ලීලයෙන්ම එහා මෙහා ඇඹරෙන්නට වන්නාහ.
***
සැන්දා වන්නා සේම ධනුකයෝ රාජකීය ආසනාරූඪවම නින්දට වන්නාහ. ඒ නම් කවර නින්දෙක්ද වාසල කවටයෝ බෙරිහන් දෙනු ඈතින් ඇසෙන්නේය. අතට දුන් ෆෝන් එක උදුරාගත් පසු බත් කන අතදරුවෙකුගේ මෙන් නෝක්කාඩුවෙන් රාජකීය මුහුණ සරහා ගත් ධනුකයෝ කොලුකෙලි පිරිවර සමඟ අන්දරේගේ බෙරිහන් විචාරන්නට මගට බට.
***
අන්දරේ - "අපගේ ධනුකයෝ දුටු කල් ඉදින් ඔබ වහන්සේ මහත් තේජසින්ම බබලන්නාහ" යැයි වහසි කියන්නේ...

අපෙගේ ධනුකයෝද,
"එම්බා නරය තොප වහසි කියන්නේ කෙලින්ම ඉල්ලී වී නම් මාගේ වයි ෆයි පාස්වර්ඩය දෙන්නැමැයි" කියූහ.
(2 කොටසින් හමුවෙමු)

Tuesday, October 3, 2017

 එකල්හී ධනුකයෝ මෙසේ කීහ...!

යට ගිය දවසැ සිරි ලංකා ද්වීපයෙහි ගම්පහ නමින් රමණීය නුවරක් වන්නේයැ. ඒ නුවරට අයත් රතුපස්වල නම් ග්‍රාමයෙහි ධනුක නම් වූ අසූ කෙලක් .......................... (@#$%&*) සිටින තරුණයෙකු වෙසෙන්නේයැ.
ඉදින් කරුණු කෙසේ වීදැයි... එක් දිනෙක අප කතා නායකයෝ එක් ඉරිමාවක කොළොම්තොට වාර්ෂික පොත් ප්‍රදර්ශනය බලනු රිසි සිය අක්කන්ඩි සමඟින් අවුත් රියෙන් බටහ.
"අම්මෝ මල්ලි බං ඒකෙ සෙනග" යැයි අක්කන්ඩිය වහසි කීයෙන් ධනුකයෝද මහත් වෙහෙස දක්වා "එසේය අක්කන්ඩිය, ඉදින් අවා නම් ඒ.ටී.එම් එකක් වෙත ගොස් කහවනු දෙදහසක් ගත යුතුව ඇතැයි කීහ.
එ පවත් ඇසූ සොයුරිය, "ආකේඩ් එකෙත් ඒ.ටී.එම්. එකක් ඇති ඒත් ෂුවර් නෑ කාගෙන් හරි අහමු" යි ගත් කටටම කීවාය.
***
ඉදින් කරුණු එසේ වූ කල්හී... අප ධනුකයෝ අක්කන්ඩියද ඇදගෙන ගොස් තුන් සක රියෙක රථාචාරී විමසූහ.
"එහෙමනං දන්නෙ නෑ ඇයි BMICH එක ඇතුලෙ ඇතිනෙ" යි රථාචාරී නොවලහා කීවද ගැහැනුන්ගේ ඒ සංසාරගත පුරුදු කොයි කල්හී වුවද මතු විය හැක්කේයයි කියන්නාසේම අක්කන්ඩිය මහත් තේජස් දක්වා රථාචාරී අපගේ මහත් ධනස්කන්ධය ඩැහැගනු රිසියැයි සිතන්නාසේ ධනුකයෝ ඇදගෙන යළිදු මඟට බට.
ඉදින් ඒ මග ඇවිදින් අවුත් ඒ මහා වාලුකාවෙහි ක්ෂේම භූමි දක්නා නුවනින් යුතු ධනුකයෝ එක් කහවනු ගත හැකි තැනක් දැක ඒ කරා ගොස් කහවනු දෙදහසක් ගන්නා ලද්දෙන් මහත් තේජස් දක්වමින් අක්කන්ඩිය පිරිවරා කොලු කෙලි පිරිවර පසුතබාගෙන වුත් ප්‍රදර්ශන භූමියට අතුලු වූහ.
ඉදින් මෙපරිද්දෙන් ප්‍රදර්ශන භූමියේ සිරි නරඹන කල්හී අක්කන්ඩිය එක් වරම වත්සුනු අලෙවි සැලක් දුටු යාය හතරේ කාල වර්ණ කෙල්ලක මෙන් නැවතිනි.
මේ අලකලංචිය කුමක්දැයි විමසන අප ධනුකයෝ මෙසේ විචාලහ.
"එම්බා අක්කන්ඩිය තී මෙසේ එක්වරම නැවතීමට කරුණු කිසිත් නොවලහාම මට හෙළිකල යුතුය."
ඊට පිලිතුරු ලෙස හිස නොහරවාම සුරත පෑ අක්කන්ඩිය මෙසේ බනවන ලද්දීය.
"අඩේ මල්ලී අර ඒ.ටී.එම්. එකක් තියෙනවා හලො. අපරාදේ අච්චර දුරක් ඇවිද්දේ."
(ඔබ දැන් මේ මහා වීර කාව්‍යයෙහි උත්කෘශ්ඨ වූත් මනහර වූත්, විලම්බීත වූත්, ධනූකයෝ පුපුරවන තරම් උනුසුම් වූත් කොටසට පැමිණ ඇත. )
 එකල්හී ධනුකයෝ මෙසේ කීහ...!
"එම්බා නිර්ලජ්ජිත මෝඩී. තිට මා රථාචාරී බස් ඇසීම මැනැවැයි කීවා නොවේද? දැන්වත් උත්තම පුරුෂයෙකු යමක් කී කල්හී ඒ ඉස් මුදුනින් ගනුව."

Monday, September 25, 2017

නිමේෂයක්

වැස්සත් එක්කම ඔෆිස් එකෙන් එළියට බැහැපු මම වැස්සත් එක්කම කෝච්චියටත්, ඒකෙන් බස් නැවතුමටත් එතනින් බස් එකටත් ගොඩ උනා.
මම සුපුරුදු විදිහට සින්දු අහන ගමන් ආවෙ. බස් එකෙත් සින්දු දැම්මා. මට ලොකු සතුටක් දැනුනා. මොකද ඒවා ක්ලැරන්ස්ගෙ සින්දු නිසා.
බස් එකේ සෙනඟ පිරිලා ඉතිරිලා මම වාඩිවෙලා හිටියේ පිටිපස්සෙම නිසා මට බස් එකේ ඉස්සරහ ගැන හොද දැක්මක් තිබුනා. වහින වෙලාවක එකට පොදි කකා තෙරපෙන සිතුවිලි වගේ සෙනඟ තෙරපෙන්නෙ කියලා මට හිතුනා.
ඒ අතර, අතරින් පතර මට එක එක විදිහේ චරිත පේනවා. ළදරුවාගෙ ඉදන් මහල්ලා දක්වා චරිත අතරෙ ඇස් දෙතුන් වරක් හැරිච්ච චරිතත් නොතිබුනාම නෙමෙයි.
මට නොදැනීම සින්දු ටික නැවතිලා.
***
"මල්ලි කොහෙන්ද බහින්නෙ...?"
"රතුපස්වල..."
"මාරුකාසි නැද්ද...?"
"නෑ..."
***
ෆෝන් එක දිහා බලන් හිටපු නිමේෂෙට චරිත ගොඩක් වෙනස් වෙලා. අලුත් චරිත ඇවිත් වගේම තිබුන චරිත අයින් වෙලා. හරියට ටෙලි නාට්‍යක් බලන්න බැරි වෙලා මඟ ඇරුනා වගේ
***
හිත කොහෙන්දෝ පාවෙලා ආපු සිතුවිල්ලක ගැඹුර මනිනවා. අපේ ඇස් නොගැටුන එක නිමේෂයක් ඇති අපි කැමති චරිත අපේ කතාවෙන් අයින් කරවන්න.
මොහොතක් හිතුවොත් ඒක ලෝක ස්වභාවය වගේම ඒක මනුස්ස හිත. ඒ කොහොම උනත් ඒ තර්කයට මගේ හිත නම්මවා ගන්න බෑ වගේ.
නොදැනීම දුර ආපු හිත එක නිමේෂයකදී එක පාරට මට ඇඟිල්ලෙන් ඇනලා "බහින්නෙ නැද්ද...?" කියලා අහන්නෙ නැතිවෙන්නෙ මම තාම අර සිතුවිල්ලෙ එල්ලිලා කොහේදෝ යනවා.

Saturday, September 9, 2017

අවසානය...!


ජීවිතය කියන්නෙ සින්දු අහනවා කියන එකටම තමයි. මොකද ජීවිතේ කියන්නෙත් සින්දුවක්. අපි සින්දුවක් අහනවා... එතකොට ඒ සින්දුවෙ රස අපි විදිනවා විනාඩි කීපයකින් ඒ රස ඉවර වෙනවා. ඉතින් ඒ සින්දුව අපිට සතුට ගේනවා නම් සතුටක් දැනෙයි නැත්නම් දුකක් දැනෙයි. හරියට අපි ජීවිතේ මුහුණදෙන සිදුවීම් වගේ.
මම ජීවිතේ එක කතාවක් පටන් ගත්තු හැටි ලිව්වා එක බ්ලොග් පෝස්ට් එකකින්. දැන් ඒ කතාව ඉවර කරන්න යන්නෙ පෝස්ට් එකකින්ම.
කතාව ඉවර කරලා ටික දවසක් උනත් (හරියටම 2017-08-19) ලියන්න වෙලාවක් තිබුනෙත් ශක්තියක් තිබුනෙත් නෑ.
මේ කතාව පටන් ගත්තේ...
"මම සාමාන්ය පෙළ කරන කාලෙදි විද්යාව ඉගෙන ගන්න ගෙවල් ගාව පන්තියකට ගියා..." කියලා...
දැන් ඉවර කරන්න හදන්නෙ.
ඉතින් ඒ ළමයාගෙන් මම ඇහුවා... මම පරක්කුයි...
කොහේදෝ පාලු මූසල හවසක වැස්සක් වෙලාවෙ තනිවෙලා වගේ මට දැනුනා.
ඒ මැවුනු වැස්ස මට මුමුණනවා...
"යුවතියකට ඔබ ආදරෙ නම්... ඇයට පවසන්න... පැවසීමට අත පසුවේනම් ඇය ගැන නොසිතන්න..."
ඉවසගෙන කරුණු කාරණා හොයලා බැලුවා. ඇය මට යමක් සඟවලා
"ඔබ කැමති නම් මට කියන්න... මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිදලා..."
මැවුණු වැස්ස මාව සීතලෙන් අසරණ කරනවා. හරියට නන්නාදුන කෙනෙක් වගේ.
***
මිල්ටන් මල්ලවාරච්චි ආයෙත් පාරක් එදා  වගේ අදත් මං වෙනුවෙන් ගායනා කරනවා ඔහුගෙ හිත් බිදුනු හඬින්...
"කෙසේ කියන්නද... ඔබ මා අත.. හැර... ඉවත ගියා කියලා... මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා..."
ඔව් මම ලෝකෙටම කිව්වා... අදත් මට ඒ මූණ මතකයි හරියට හීනයක් වගේ හැබැයි ලස්සන හීනයක්... හීනේ අවසානය ලස්සන නැතත් අපි ඒ හීන වලට කැමැතියි හැමදාම.
මගේ දෙමව්පියෝ මේ කතාව දන්නවා. එයාලා කොච්චර පරිනතද කියන එක මට ඒ වෙලාවෙ හොඳට දැනුනා.
***
මම තාමත් විශ්වාස කරන දෙයක් අපි දෙයක් අවබෝධ කර ගන්න ඕනෙ අත්දැකීමෙන් මිසක් කාගෙවත් වචනෙට නෙමෙයි. ඉතින් සින්දු උනත් නියම රස දැනෙන්නෙ ඒ සින්දුවේ කතාව හරියටම දැනුන වෙලාවට.
හරියටම.....
 "ඔබ රවටා නැත... ඔබ හඩවා නැත... දැන දැන මා නම් වැරදි කලේ නැත... ඔබ ගැන මට පුදුමයි... වෙනසක තතු නොහැගෙයි..."

Saturday, August 12, 2017

තාත්තගෙන් කතන්දර අහපු හැටි


මං පොඩි කාලෙ නින්ද යන්න නම් තාත්තා කතාවක් කියන්නම ඕනෙ. නැත්නම් නිදා ගන්නෙම නෑ මං.
මං ආයෙ ආයෙ අහපු ලස්සනම කතාවක් තමයි "ලබ්බෙ තොවිලෙ".
 ඒකෙන් කියවුනේ ලබු ගෙඩියක් ඇතුලෙ තොවිලයක් නටපු හැටි ගැන. ඔයාලටත් කියවන්න මං ඒක දානවා.
ඔන්න එකෝමත් එක කාලෙක පිටිසර ගමක ගමරාල කෙනෙකුට අයිති වගාවක ලොකුම ලොකු ලබු ගෙඩියක් හැදුනා. කොච්චර ලොකුද කියනව නම් මුලු ගම තරම්ම ලොකූ එකක්!. ගමේ හැමෝම ආවා මේක බලන්න. මේ අල්ල පනල්ලෙ ගමරාලගෙ දුවට පෙර්ත දෝසයක් කියල ගමේ ගෙදර තොවිලයක් නටන්න ලෑස්ති කලා.
ඔන්න දැන් ගමේ මිනිස්සු ගජරාමෙට තොවිලෙට වැඩ. සමහරු පුවක් ගස් කපනවා, සමහරු කෙසෙල් කොට කපනවා,සමහරු බලි අඹනවා,ගමේ බවලත් උදවිය ඉන්න අයට තේ, කෑම අල්ලනවා වගේ වැඩ.
ඔන්න දවස් ගානක්ම කට්ටිය මේකට වැඩලු. තොවිලෙ තියෙන දවසෙ මහා වැස්සක් පටන් ගත්තා. දැන් ගමේ මිනිස්සු ඔක්කොම ගමරාලගෙ ගෙදර නිසා ඉඩ කඩත් මදි. වැස්ස නිසා එළියට යන්නත් බෑ. ඒ අතරෙ එක මිනිහෙක් කිව්වා
"අපි අර ලබුගෙඩිය කපල ඒක ඇතුලෙ තොවිලෙ නටමු"   කියලා.
ගමරාලට කල්පනා උනා වැඩේ ඇත්ත තමා කියලා. ඊට පස්සෙ ගමේ කොල්ලො කුරුට්ටො එකතු වෙලා  වැස්සෙම ලබු ගෙඩිය කැපුවා. ඊට පස්සෙ ඒකෙ නැට්ට ගාව කැපුව පියනක් වගේ. ඊට පස්සෙ ඇතුල හාරල අයින් කලා. ඊට පස්සෙ ගමේ හැමෝම ඇතුලට රිංගුවා, පියන වගේ කොටස ඇතුලෙන් ලණුවකින් තද බැද ගත්තා.
දැන් ඔක්කොම හරි. ගමේ මිනිස්සුයි,බෙර කාරයොයි,නැට්ටුවොයි ඔක්කොම එක පොදියට ඇතුලෙ.
ඔන්න දැන් වැඩේ පටන් ගත්තා. ලබු ගෙඩිය තියෙන්නෙ මිදුල මැද. වැස්සත් ටික ටික වැඩි උනා. ඔන්න දැන් මහ සද්දෙන් බෙර ගගහ තොවිලෙ ජයටම යනවා, මිනිස්සු විට කකා තේ බිබී බලන් ඉන්නව. ළමයි සෙල්ලම් කරනවා එක එක වැඩ.
"මෙන්න වැඩක්!"
"ඇයි මොකෝ උනේ"
මිදුල මැද තිබුන ලබු ගෙඩිය වැහි වතුර එකතු වෙලා මිදුල මැද ලාවට වගේ පාවෙන්නත් පටන් අරගෙන.
**********
දැන් ගමේ ගංගාව පිටාර ගලනවා. මිදුල, ගෙවල් තියා ගස් වල කරටි වලටත් උඩින් වතුර. ලබු ගෙඩිය ඉපිලෙමින් පාවෙනව...
 "ඒ ඇයි ඒ......??"
***********
"වැස්ස......! වැස්ස......!! වැස්ස......!!!"
ලබුගෙඩිය වතුර පාරෙ සැරට ගහගෙන යන්නත් පටන් ගත්තා.
************
(තාත්ත හැමදාම වගේ කතාවෙ ඔය හරියට ඇවිත් නතර කරනව)
"ඉතුරු ටික හෙට කියන්නද?"
"අනේ බෑ අදම ඔනේ"
"ඉතින්.....  ඔන්න දැන්.............."
ඉතින් ඔන්න දැන් ලබු ගෙඩිය පාවෙලා ඇවිත් ඇළට වැටුනා...
(ඔන්න ඔය ටික තමා මං ආසම ටික තාත්ත හරි ලස්සනට උච්චාරනය කරල කියනව මේ ටික)
"ලබු ගෙඩිය ඇළෙන් දොළට; දොළෙන් ගගට; ගගෙන් ඉතිං ඕන් මුහුදට...."
"අනේ ඒ ටික ආයෙත් කියන්න"
(තාත්තා ආයෙත් කියනව ඒ ටික)
ඔන්න ලබු ගෙඩිය මුහුදෙත් දැන් ගහගෙන යනවා. ඔහොම ගහගෙන යනවා. ඇතුලෙ තොවිලෙ නටන එකත් ජයටම යනව....
ඔහොම හය දවසක්ම ලබුගෙඩිය ගහගෙන ගහගෙන ගියා. අද තමා තොවිලෙ අන්තිම දවස.
මේ වෙලාවෙ මාර වැඩක් උනා. දවස් ගානක් බඩගින්නෙ හිටපු මෝරෙක් ලබු ගෙඩිය ගිල්ලා.
"අයියෝ මිනිස්සු මැරෙන්න ඇති"
"නෑ....! එයාල දන්නෙවත් නෑ"
**********
මුහුදෙ ගිය මාලු අල්ලන කට්ටියක් දාපු දැලකට මේ මෝරා අහු උනා. මිනිස්සු ගොඩක් අමාරුවෙන් දැල ඇදගෙන ගොඩට ආවා. වෙන මෝරුන්ට වඩා මේ මෝරාගේ බර වැඩියි. එයාලා බොහොම අමාරුවෙන් බඩ පලලා බැලුවා. මෙන්න බොලේ ලොකු ලබු ගෙඩියක් තියෙනවා. බෙර සද්දෙකුත් ඇහෙනවා. මිනිස්සු බය උනා.
එයාලා මේක රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවො ලබු ගෙඩිය අලි ඇත්තු දම්මලා ඇදගෙන මාළිගාවට ගෙනාවා. පාරෙ දිගේ ගෙනියන බෙර සද්ද ඇහෙන මේ ලබු ගෙඩිය බලන්න ඒ රටේ මිනිස්සුත් ආවා.
රජ්ජුරුවෝ ලබු ගෙඩිය පලන්න අණ කලා. මෙන්න බොලේ ඒක ඇතුලෙ මිනිස්සු පොකුරක් ඉන්නවා.
හරියටම මේ වෙලාවෙම තොවිලෙ නටල අවසන් උනා.
ලබු ගෙඩියෙ හිටපු මිනිස්සුයි, මාළිගාවට ඇවිත් හිටපු අයයි මූණට මූණ බැලුව.
හැමෝම පුදුම වෙලා. මොකක්ද මේ උනේ කියලා.......
*********
කොහොමින් කොහොම හරි රජ්ජුරුවො මැදිහත් වෙලා සම්පූර්ණ කතාවම දැන ගත්තා.
අර තොවිලෙ නටන්න හේතු උන ගමරාළගෙ දුවව රජ්ජුරුවෝ විවාහ කර ගත්තා.
ගමරාළ ඇතුලු ගමේ අය ඒ රටේ පදිංචි උනා.
(ඇත්තටම කතාවෙ ඔය හරිය කියන කොට මං හොදටම නිදි. ඒක නිසා ඒ ටික මම හිතලා නිර්මාණය කලා)

මා හා එදා පිය සාදයේ


මටත් පාටියට කතා කරල තිබුන. අපේ අනිත් අයට නම් ගෑනු ළමයි ඉන්න නිසා එයාල පාටි වලට යන්න කැමතියි.
මට එහෙම කෙනෙක් නැති නිසා මට ඒවගෙ විශේෂයක් නෑ.
...........................
මම පාටියෙ කොච්චර වෙලා හිටියද දන්නෙ නෑ. හැබැයි මම මගෙ යාලුවො එයාලගෙ ගෑනු ළමයි එක්ක කතා බහ කරන හැටි මම දැක්ක. මම වාඩි වෙලා හිටියා.
............................
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට මට අහම්බෙන් ඇහැ ගැටුන මම වගේම තවත් මේසෙක වාඩි වෙලා හිටපු ගෑනු ළමයෙක්ව. (එයාගෙ යාලුවොත් පිරිමි ළමයි එක්ක නටනව ඇති,කතා බහ කරනව ඇති) ඒ නිසාම මෙයාට කවුරුත් නැතිව ඇති කියල මට හිතුන.

...............................
මටම හිතා ගන්න බෑ මම එයා ගාවට ගියේ හීනෙන් වගේ.
"මං එක්ක නටන්න එනවද ?"
ඒ ළමය මං දිහා බලල අහිංසක විදිහට හිනා උනා.
මට තේරුනා එයා ඒකට එකගයි කියල. මම අත දික් කරහම එයා එයාගෙ අත මගෙ අත උඩින් තිබ්බ.
................................
අපි ගොඩ වෙලාවක් නටන්න ඇති, මට කාලය ගැන අවබෝධයක් තිබුනෙ නෑ.
...........
එක පාරටම විදුලිය විසන්ධි උනා. මම අඩ අදුරෙ දැක්ක ගොඩක් ගෑනු ළමයි පිරිමි ළමයිගෙ අත් අත ඇරල ආපහු මේස වලට යනව.
............
ඒත් අර ගෑනු ළමය මගෙ අත අත ඇරල ගියෙ නෑ. මට මගෙ හදවත වේගෙන් ගැහෙනව දැනුන.
............
පාටිය ඉවර උනා. එයත් ගියා. මම එතනින් පිටවෙලා මගෙ කාර් එකට නැගල ස්ටාට් කරා. කාර් එකේ රේඩියෝ එකෙන් මිල්ටන් මල්ලවාරච්චි මං වෙනුවෙන් මෙහෙම කියනව.
.............

ජීවිතේ ගීත


සිංදු අහන එක මගේ ප්රියතම විනෝදාංශ වලින් එකක්. මම සිංදු අහගෙන යනකොට සමහර සිංදු වල එක කොටසක් විතරක් අහගෙන ඉඳලා ඊළඟ සිංදුවට දාන එක දැං පුරුද්දකට ගිහිල්ලා.
මම ඒ ගැන මුලදි එච්චර උනන්දුවක් නොදැක්වුවත් අද මගෙ මනෝලෝකෙ එක කෙළවරක හිටපු මට ඒ ගැන නිරායාසයෙන්ම කල්පනා උනා.
සමහර සිංදු තියෙනව ඒවගෙ එක්තරා වචන සෙට් එකකට අපි ආසයි. වෙනත් විදිහකින් කිව්වොත් සිංදුවල තියෙන අපිට වැදුන තැන්.
මම මගෙ වට්ස් ඇප් ස්ටේටස් වලට දාලා තියෙන්නෙත් එහෙම ඒවා තමයි. ඇත්තම කිව්වොත් ඒ වචන ඛන්ඩ වල මම ජීවත් වෙනව වගේ මට දැනෙන තැන්.
මං එච්චර උනන්දුවක් නොදක්වන ගායකයින්ගෙ සමහර සිංදු තියෙනව මම ගොඩක් ආස ඒව.
"ඔබෙ සුසුම් පවන් සලයි... මගෙ කොපුල් පුරා වෙලෙයි... ඔබෙ සෙනෙහස ගොඩ ගලයි... උනුසුමට මාව තෙමයි..."
"...පෙම්වතිය පෙම්වතාගෙ උරහිසේ ඇඟේ නිකට තියාගෙන ඉකි බිඳිනවා... පෙම්වතා ඒ අවස්ථාව සංයමයෙන් යුතුව ඉවසනවා..."
"...පෙම්වතිය හෙලන සුසුමක් ඔහුගෙ මුහුනෙ කම්මුල් පිසගෙන ඇදී යන බව ඔහු කියන්නෙ ඇඟේ සුසුම් තමන්ගෙ කම්මුල හරහා පවන් සලාගෙන ඇදීයන විදිහට... ඒ අවස්ථාවෙ ඈ කෙරෙහි රාගයෙන් තොර ස්නේහයක් ඔහුට ඇති වෙන බව ඔහු කියන්නෙ ඈ කෙරෙහි සෙනෙහසක් උතුරා යන පිටාර යන ආකාරයෙන්... ඒ සමඟම ඇගෙන් ගිලිහෙන කදුලු ඔහුගේ උරහිසෙහි පතිත වෙන උනුසුම ඔහුගේ සිතුවිලි දාමය බිද හෙලනවා..."
"මේ මැයි ගහ යට... දවසක් දා... වැස්සට අපි උන්නා..."
මේ සිංදුවත් මම ගොඩක් ආස කරන මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන එකක්.
"...ජ'පුර කැම්පස් එකේ පාර දෙපැත්තෙ මැයි ගස් තියෙනව කියල මම අහලා තියෙනව (මට කැම්පස් යන්න බැරි උනත් ඒ අවස්ථාව මගේ මනසේ සිත්තම් කරන්න ඒ පද සමත් වෙනවා.)..."
"...පෙම්වතා මැයි ගස් යාය අද්දරින් යන හැමවෙලාවක ඔහුට ඒ අතීතය මැවෙනවා. ඇය සමඟ ඒ දොඩමලු වෙච්ච හැටි ඔහුට ආයෙ ආයෙ මැවිල පේනව ඇති කියල මගෙ හිත මට කියනවා..."
"...ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහි පොද සේ... නෙතු කඳුලු සැලේ..."
****************
මතු සම්බන්ධයි

සල්ලි දීලා ජරාව බීම


"අක්කෙ මං ඔයාලත් එක්ක මෙව්ව 1ක් බිව්ව කියල මගෙ බ්ලොග් එකේ දාන්නම්කො" කියල මම ඩිලංකා අක්කට කිව්වෙ අසංක අයියා මොකක්ද මංද අයිස් දාපු ඉලව් බීම ජාතියක් ගේන්නම් කියල ඒකට මගෙනුත් සල්ලි ඩිලංකා අක්කගෙ එකවුන්ට් එකට ට්රාන්සර් කරපු වෙලාවෙ. එතකොට රශ්මි අක්කත් මගෙන් බ්ලොග් එක ගැන අහල ලින්ක් එක ඉල්ලන් බැලුව. මෙන්න ඊළඟ දවසෙ කියනව "අකේෂ් මං බැලුව පොඩ්ඩයිනෙ තියෙන්නෙ බ්ලොග් එකේ " කියල රශ්මි අක්ක කිව්ව.
ඉතිං මම කල්පනා කලා අයේ පෝස්ට් එකක් දාන්න.
.................
බීම ගැන කිව්වොත් ඒක පෙර ගෙවුම් ක්රමයට ඩිලිවරි කරන එකක් (සැ.යු. අසංක අයියා කිව්ව වෙලාවෙ බීම ගෙනාවෙ නෑ කියන එක නම් මම අදහස් කලේ නෑ..බළධරියා විසින් කපා හරින ලදී ) සල්ලි දීල දවස් 2,3 කට පස්සෙ තමයි හම්බුනෙ. අර කවුද කිව්ව වගේ හරියටම තේරුම් ගන්න කරලම බලන්න ඕනෙලු.
මමත් රතු පාටට පෙනුන නිසා ඒ වර්ගෙම ඕඩර් කරා, ඩිලංක අක්කත් ඒ ජාතියම ගෙනෙල්ල කියපංකො හිටං.
ඉතිං පෙරුම්පුරාගෙන ආ සංසාරෙ මමත් ගත්තු ගමන් උගුරක් දෙකක් බීල බැලුව. ඒ ජරාව මේ ඊයෙ පෙරේදා කැම්පේන් ගිහින් රෑට කාපු කොත්තුවට හපන්.
ඇති යන්තන් බීම ජාති බඩේ අමාරුව වෙනකන් ගේම ඉල්ලන්නෙ නෑ. බැරිම තැන මම මගේ අවංක හඳ පතුලෙන් නැගුන ඒ කොමෙන්ටුව ඉදිරිපත් කලා. "රශ්මි අක්ක අපිව නොමග යවල හොදම එක බිව්ව නෙහ්" කියල. මෙන්න බොලේ අක්ක කියනව "මම නම් කාටවත් මුකුත් කිව්වෙ නෑ ඕන ජාතිය අරගන්න කියල කිව්වෙ කියල" අම්මෝ වස! (කිව්වට මොකෝ එහෙම වසයි කිව්වට වසත් නෑ, හැබැයි ඩිලංකා අක්ක නම් කියන්නෙ .......... කියල. [බළධාරියා විසින් කපා හරින ලදී.] ඩිලංක අක්කට කියන්නෙ .......... කියල. (කරුමෙ කියන්නෙ ඒකත් මේ මිනිහා කපා හැරියා කියහංකො )
.....................
මම දැන් ඉන්න තැන කලින් හිටපු තැනට වඩා ටිකක් හොඳයි. රට වටේම ඇවිදිනවා. මේ ඊයෙ පෙරේද බණ්ඩාරවෙල ගිහින් වැඩකාරය වගේ හිටියට මොකෝ පළවෙනි පාර එහෙ ගියෙ කබරයා පෙනි පෙනී. කබරයගෙයි මගෙයි දෛවෝපගත සම්බන්ධෙ කොයි වගේද කිව්වොත් අජන්ත අයියා (ඩ්රයිවර්) අන්තිම වංගු දෙගේ ඇද අරිනකම් මුට කාගෙන ඉන්න බෑමයි කිව්ව. (ලොවෙත් හිටියෙ නැති කබරය ඇහැරුනේ වමනෙ පෙති කියන මළ ජරාව බිව්වට පස්සෙ. මම හිතන්නෙ එව්වට වමනෙ පෙති කියන්නෙ බිව්වට පස්සෙ කබරය ලෝඩ් වෙන හින්දද කොහෙද.
....................
සුලාජ් අයියා මගෙ ට්රේනර්. මම එයා එක්ක ගමන් බිමන් යන්න කැමති වෙන්න හේතුව එයත් මං වගේම ක්ලැරන්ස්ගෙ සින්දු වලට වහ වැටිච්ච කෙනෙක් වෙච්ච එක. වාහනෙ යද්දි අනිවාරෙන් ඒ සිංදු අහගෙන යන නිසා මගේ මනෝ ලෝකෙ දොර ගාවට මාව නොදැනීම වගේ ගමන් කරනවා.
.......................
මම මේ ළඟදි දවසක අම්මා හදල දුන්න පේර වගයක් ඔෆිස් අරන් ගිහින් කට්ටියට දුන්නා. වැඩේ කියන්නෙ එදා හිටියෙ නුවන් අයියයි , අක්ක නඟෝල දෙන්නයි විතරයි. වැඩේ කියන්නෙ වින්ද්යා අයියයි, සුලාජ් අයියයි, අසංක අයියයි නැති වෙන්නෙත් එහෙම දවස් වලට. (බළධාරියා විසින් කපා හැරීමට රැකගෙන බලා සිටි වාක්යක් මා විසින් සිහි කල්පනාව ඇවිදින් නූලෙන් ජාමෙ ගොඩ දාමින් ඉවත් කොරගන්නා ලදී. )
.........................
ඉතිරිය බළධාරියා විසින් තවමත් අවසර දී නොමැති හෙයින් ඉදිරි දිනකදී පල කරනු ලැබේ.

Monday, August 7, 2017

වීර්ය


මගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් ඉන්නවා යොහාන් ප්‍රතිරංග කියලා එයාගෙ වට්ස්-ඇප් ස්ටේටස් වලට දාල තිබුන එක්තරා සේයාරුවක් මාව මේ පෝස්ට් එක ලියන්න පෙළඹෙව්වා.
ගොඩක් පුංචි ලේන් පැටියෙක් හිම වැටෙන වෙලාවක අතු රිකිල්ලක් උඩ ඉන්න පින්තූරයක් ඒකෙ තිබුනෙ ඒ පැටියගෙ තරමෙ හැටියට ඌ කොච්චර දුකක් විඳිනව ඇතිද කියලා මට හිතුනා.
ඒත් එක්කම ඒක මගේ හිතෙ ඇඳුනා. ඒ වගේම මට ලොකු චිත්ත ධෛර්‍යක් ගෙනාවා. දවසේ ආරම්භයේ ඉඳන් රෑ නිදාගන්න වෙලාව වෙනකන් මම මගේ කාලය ශ්‍රමය අනුන් වෙනුවෙන් කොච්චර මිඩංගු කරාද කියලා හිතලා මම ලොකු සතුටක් ලබනවා. වෙලාවකට දුක් දෝමනස්ස අහන් ඉඳලා ඒවට මට හැගෙන දැනෙන විදිහට විසදුම් දෙන එක, මට පුළුවන් උපරිමයෙන් වැඩ කරන එක,වචනෙකින්  හරි උදව්වක් කරන එක,අනිත් අය වෙනුවෙන් පෙනී සිටින එක, ඒ ඔක්කොම එක්ක ඉවසන එක. මේ හැමදේකටම අකේෂ් ධනුක කියන පුද්ගලයව හුරු කරලා ලෝකෙට දායාද කරපු මගෙ දෙමව්පියෝ වගේම මගේ ඉස්කෝලෙන් මට ලැබුනු නායකත්වය දරන්න ලැබුනු අවස්ථා මම ආඩම්බරයෙන් මතක් කරන්නෙ ඒ නිසා.
........ ඉස්කෝලෙ කොමස් ඩේ එක දවසෙ කෑවෙ නැති එකම කෙනා මම වෙන්නත් ඇති. ඒත් එදා මට ලැබුනු පන්නරය මාව හැමදාටම ශක්තිමත් කරනවා. එදා ළමයි කට්ටියක් කෑම වැඩියෙනුත් අරගෙන අන්තිම ළමයි දෙන්නෙක්ට මදි වෙලා මම මගෙ කෑම එක නොගෙන "ආ... එකයි තියෙන්නෙ ශේප් එකේ කාපං" කියලා ඒ දෙන්නට දුන්නා. ඕක අපේ පන්තිභාර ටීච බලන් හිටියා කියලා මම දන්නෙ නෑ. ටීට පහුවදා ශ්‍රේණි රැස්වීමෙදි ඒක හැමෝම ඉස්සරහ කිව්වා. "ධනුක  තුලින් මම පීතෘ මූලික නායකයෙක් දැක්කා, ඒ දරුවගෙ ගුරුවරයා වෙච්ච එක ගැන මම හැමදාටම ආඩම්බරයි" කියලා ටීච කිව්වා (ටීච මට ධනුක කියලා කියන්නෙ). ඒ වෙලාවෙ තමයි මම දැන ගත්තෙ ටීච ඒ සිදුවීම දන්න බව. මට ලැජ්ජත් හිතුනා. ඒ එක්කම ඒ වචන මට ලොකු ශක්තියක් උනා. අකේෂ් කියන පුද්ගලයා වීම ගැන මම අදටත් සතුටු වෙනවා වගේම මැරෙන දවසක මම හොඳ මිනිහෙක් විදිහට මැරෙනවා කියලා මට සතුටු වෙන්න පුලුවන්. (මම මේ පෝස්ට් එක ලියන්නෙ මගෙ වරුණ කියන්න නෙමෙයි. මේක දකින කෙනෙක් යම් දෙයක් ඉගෙන ගත්ත නම් ඒක මට සතුටක්. මගෙ යලුවො, දෙමව්පියො, ගුරුවරු, මාව එක දවසක් හරි ආශ්‍රය කරපු කෙනෙක් නම්; එයා මං ගැන දන්නවා ඒනිසා මම කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැති බව මම දන්නවා.)
තමන් නිසා කෙනෙක් සතුටක් ලබනවා නම් ඒක තමයි මිනිහෙක්ට තියෙන ලොකුම ආශීර්වදය වගේම තව තවත් වීරිය වන්තව කටයුතු කරන්න තියෙන උත්තේජනය කියලත් ධනූ විශ්වාස කරනවා.

වෙරළ අහිමි මුහුදක්!

 මං උදේ හවස කෝච්චියේ යන එන ගමනෙදි නොයෙක් දේවල් දකිනව. ඒ අතරින් මගෙ හිත වැඩියෙන්ම ඇදිල යන දෙයක් විදිහට කොල්ලුපිටිය මුහුද මගෙ වෙබ් අඩවි පාඨක ඔයගොල්ලො හොඳටම දන්නවා ඇති.
අද මම හවස එනකොට මම මුහුදෙ වතුර වැඩි බවක් දැක්කා. අද උදෙත් මට මුහුදෙ එක්තරා පිරුණු බවක් පෙනුනෙ ඒ නිසා වෙන්න ඇති.
ඒ පිරුණු මුහුද එයා ගැන කොයි තරම් ආඩම්බරෙන් හිටියද කිව්වොත් එයා එයාගෙ රැළි ගොඩක් උඩට ඔසවලා තමන් ගොඩක් ප්‍රභල බව නිතරම කියා පෑවා. ඒත් ඒ අතර යම් වෙනස් කමක් මගේ ඇහැ ගැටුනා.
කොල්ලුපිටිය ස්ටේශන් එක ළඟ මුහුද කොච්චර තමන් ගැන උදම් ඇනුවත් එයාට වෙරළක් නැහැ. අඩුම තරමෙ නිවි හැනහිල්ලෙ තමන්ගෙ රැළි පා කරලා යවන්නවත් වෙරළක් එයාට නැහැ. එයා "වෙරළ අහිමි මුහුදක්..." ඒත් ඒ අඬු ලුහුඬු කම අනිත් අයගෙන් හංගගන්න තරම් කොල්ලුපිටිය මුහුද අසරණ වෙලා කියලා මට පෙනුනෙ අන්න ඒ වෙලාවෙ.
ඒ එක්කම මට උදේම ජනේලෙ ඇරපු ගමන් තමන්ගෙ ශක්තිය ගැන කේවල් කරමින් ගෙට කඩා පනින වේගවත් සීතල හුළඟක් වගේ සිතුවිළි මහා ගොඩාක් කිටි කිටියෙම මගේ හිත් කුහරයට ඇතුල්වුනා නිමේශයකින්ම.
මම හෙමින් ඒ සිතුවිලි කන්දෙ එක කොනකට ළඟා උනා....
"ලෝකයා තමන්ගෙ අඬු ලුහුඬු කම් හංග ගන්න කොයි තරම් තමන්ගෙ රැළි  ඉහල නංවනවද..........?"
***********
මතු සම්බන්ධයි...

Sunday, August 6, 2017

මම,සඳ සහ මම

මම ගොඩක් කැමති දෙයක් රෑට පුටුවක් එළියෙ තියන් අහස බලන් ඉන්න එක. අම්මයි තාත්තයි ඒ වෙලාවට තමයි එයලගෙ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නෙ.
මං බෙල්ල රිදෙනකං අහස බලනවා. ඒ තරු අතරෙ මොකක්දෝ මම නොදන්න (ඇත්තටම මේ ලෝකෙ කවුරුවත් නොදන්න) රහස් කොච්චර නම් ඇතිද කියලත් මට හිතෙනවා. තරුවක් කියන්න චන්ද්රයෙකුට වඩා ප්රභල වස්තුවක් උනත් මට මේ වෙලාවටනම් හඳ තරම් හිතට එබෙන දෙයක් නැති තරම්. සමහර විට පෘතුවියට තවත් හඳවල් ගොඩක් තිබුන නම් ඒ හැඟීම එච්චර මට නොදැනෙන්න තිබුනා.
මම අහල තියෙනව ආදි ජුරාසික් යුගයේ ඒ දැවැන්ත උරගයෝ දැකපු හඳමයි අපිත් නොවෙනස්ව දකින්නෙ කියලා.
හඳ කියන්නෙ විවිධ පැති වලින් කතා කරන්න පුළුවන් සංකල්පයක් උනත් මගෙ හිත ඇදී යන්නෙ හඳේ තියන භෞතික සුන්දරත්වයට.
මං කැමතිම ගායකයා ක්ලැරන්ස් විජේවර්ධනගෙ සිංදු වල වැඩිහරියක හඳ ගැන තියෙනව.
"සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ..."
මට නම් එහෙම ගමන් බිමන් යන්න කොහොමත් කෙනෙක් නැති නිසා හඳ දිහා බලලා ඒ සුන්දරත්වෙ තමයි විදින්න වෙන්නෙ.
"සඳ එක් දිනක් තරු හා බැඳී විමසා බලා අඳුරේ රැදී... තරු වැල් ඉතින් තනිවී සිතින් සිටියා බලා සඳ එයි කියා..."
"සුපුන් සඳ තරු දිලෙන යාමේ මුලු ලොවම නින්දේ අවදි වී ඇති මගේ සිත ලඟ කවුද ඉකි බින්දේ..."
"සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහි කරලා..."
සමහර දවසට මම හඳ පායලා මුදුන් වෙනකම්ම බලන් ඉන්නවා. දවසක මම හදන ගෙදර ස්ලැබ් එකේ අහස බලන්න පුලුවන් තැනක් හදන්න ඕනෙ කියන සිතුවිල්ලත් නිතරම හිතට එන්නෙ මම පොල් ගහක හීනි කොල අතරින් අමුතුම ලස්සනක් එක්ක හඳේ ලස්සන කොන්දේසි විරහතව විඳින කොට.
ගස් වල කොල අතරින් දකින හඳේ ඒ මිහිරියාව මං ඇස් දෙකින් විදිනවා.
දවසක් මගෙ හිතවත් ගෑනු ලමයෙකුගෙන් (අර කලින් පෝස්ට් එකක ඉන්නෙත් ඒ ලමයා) මගෙ ෆෝන් එකේ ලොක් ස්ක්රීන් එකට දාගන්න හොඳ පින්තූරයක් ඇහුවම මට දුන්නෙ ලස්සන හඳ පායපු රෑක ගංඟාවක ඔරු තොටුපොළක දර්ශනයක් තියෙන ෆොටෝ එකක්.
මම එදා ඉදන් මේ මොහොත වෙනකනුත් දාගෙන ඉන්නෙ ඒක.
හඳ එළිය කියන්නෙ ඕනෙම කෙනෙකුගෙ හිත නිවන වගේම අවුස්සන්නත් පුලුවන් ශක්ති කදම්භයක්.
හඳ සහ මම අතර තියෙන සම්බන්ධය මට නිශ්චිතව මෙහෙම එකක් කියල නිර්වචනයක් දෙන්න පුලුවන් එකක් නොවුනත් පුළුවන් හැම දවසකම ඒ චමත්කාරය විදිනව මං.

කොල්ලුපිටියෙ ස්ටේෂන් එකේ ඉදන් අතීතෙට

මම දැන් ඉන්නෙ කොල්ලු පිටියෙ ස්ටේෂන් එකේ. මේ වෙලාවෙ මුහුදු හුළඟ වෙන දට වඩා ගොඩාක් සැරයි. හරියට කුණාටුවක් වගේ. කොච්චර රළු පරුෂ පෙනුමක් තිබුනත් මහ මුහුද කියන්නෙ නිතරම මතුපිටින් පෙනෙනෙ දෙයට වඩා යමක් ඇති තැනක්. මේ මහ මුහුද තවමත් මිනිස්සු නොදැකපු නොහිතන දේවල් ගොඩක් හංගගෙන මතුපිටින් නිසල බවත් තවත් වෙලාවක චන්ඩ බවත් අතර තුලනය වෙමින් පෘතුවිය පහල වුන දවසෙ ඉඳලා මේ වනකනුත්, සැක නැතිවම ඉදිරියටත් පවතිනවා.
මුහුද කියන්නෙ කාන්තාවන්ට හොඳ උපමාවක් වගේම මිනිස් හිතට දෙන්න පුලුවන් හොදම උදාහරනයක්.
නිතර වෙනස් වෙන මිනිස් හිත මහ මුහුද පරයා ගොඩක් ඉස්සරහින් ඉන්න බව මං විශ්වාස කරනවා.
..............
උදේ හවස කෝච්චියේ නැඟලා එහෙ මෙහෙ යන්න පුරුදු වෙච්ච මං නානාප්රකාර මිනිස්සු අහලා දැකලා තියෙනවා. එහෙම ඇවිත් කොල්ලුපිටියෙන් බැහැලා මුහුද දිහා බලාගෙන යනවා. කෝච්චියේ ජීවිත දිහා දැකලා නිරායාසයෙන් දුර දුවන හිත වෙලාවකට නැවතිලා මට ආපස්සට හැරිලා බලන්න කියලා බල කරන වාර අනන්තයි.
..............
එහෙම හැරිලා බලන්න තරම් ඉස්පාසුවක් මට නැති බව මට තේරුම් යන්නෙ එතකොට. ජීවිතේ හොදම කාලෙ ඉස්කෝලෙ යන කාලෙ කියල කියන්න එක හේතුවක් තමයි "අපි වගකීම් වලින් තරමක් දුරට නිදහස් කාලයක් ඉස්කෝලෙ කාලෙ කියන්නෙ කියලා" කියන එක මං විශ්වාස කරන දෙයක්. ඉතිං දැන් හැරිලා බලලා අතීතෙ රස විදින්න මොහොතක් හරි මට හම්බවෙන්නෙ මේ වගේ සටහනක් සයිබර් අවකාශයේ කටු ගාන වෙලාවට කියලා මම හොඳටම දන්න නිසා අඩුම තරමින් සතියකට එක පාරක් හරි මගෙ වෙබ් සයිට් එකට පෝස්ට් එකක් දාන්න මාව පොළබවනවා.
.................
මට මතකයි.... මං පොඩි කාලෙ තාත්ත එක්ක හේනේගම මහාබෝධියට ඉස්කෝලෙ ගිය හැටි. තාත්තට ඒ කාලෙ ට්රේල් බයික් එකක් තිබුනා රතුපාට. (මම 3 වසරෙදි විතර තමයි ඒක මාමට දුන්නෙ. එයා ඒක විකුණුවද කොහෙද) පොඩි කාලෙ නෙමෙයි 5 වසර ශිශ්ෂත්ව විභාගෙ පාස් වෙලා ගම්පහ බණ්ඩාරනායකේට 6 ඉදන් ඒ ලෙවල් ඉවර වෙනකනුත් තාත්තා එක්කම තමයි ඉස්කෝලෙ ගියේ.... ඒ 1 වසරෙන් පටන් ගත්තු පිම්ම තාත්තා තවම මාව ඔෆිස් යන්න ගම්පහ ඉස්ටේෂන් එක ගාවට ඩ්රොප් කරනවා. ඇරිලා රෑ වෙලා ගම්පහින් බැස්සම අම්මවයි නංගිවයි දාගෙන මාව එක්කන් යන්නත් එනවා....
....................................
මම ඉස්සර තාත්තා එක්ක බයික් එකේ ගිහින් මාව උස්සලා බිමින් තියල තාත්තා අහනවා "හවස ගෙදර එද්දි මොනවද ඕනෙ?" කියලා. මම කියන්නෙම "සෙල්ලම් ගෙයක්!" කියලා.
ඉතිං තාත්තා අම්මයි ගෙවල් අහල පහළ අක්කලයි කට්ටිය එකතු කරන් ලස්සන ගෙයක් හදනවා ගස් වලට ලණු ඇදලා ඒවට බෙඩ් ශීට් එල්ලලා.
මං ගෙදර එද්දිම බලන්නෙ මට ඕනෙ විදිහට ඒක හදලද කියලා. බැරි වෙලාවත් මට ඕන විදිහට නැත්තන් ඒක හදල දෙන්න සැදී පැහැදිලා ඉන්න අය ගොඩක් මං වටේ හිටියා.
.......................
එක එක ජාතියෙ සුන්දර මතක වලින් පිරිච්ච ලස්සන ළමා කාලයක් මට තිබුනා. හැබැයි දැන් ඒ කාලෙ ගෙවිලා ගිහින්. දැන් දැන් ජීවිතේ වගකීම් පැටවෙන කාලෙ. ඉතින් ඒ වගකීම් දරාගෙන හැබැයි නොමියෙන පුංචි කාලෙ මතක එක්ක කෝච්චියේ ඔට්ටු වෙනවා මං.

සාමාන්‍යපෙළ විද්‍යාව පන්තිය

මම සාමාන්ය පෙළ කරන කාලෙදි විද්යාව ඉගෙන ගන්න ගෙවල් ගාව පන්තියකට ගියා...
පන්තියට ගිය දවසෙ හිටියෙ ළමයි 3යි. ඒ ටීචගෙ පුතයි මමයි තව මගෙ යාලුවෙකුයි තවත් ගෑනු ළමයි දෙන්නෙකුයි ඒ පන්තියෙ හිටියා.
මට හොදට මතකයි ඒ ළමයි දෙන්නා මම අතුලට එනකොටම මගෙ දිහා බැලුවා. මමත් ඒ දෙන්නව දැක්ක කියල එයාලට තේරුනා ම0 හිතන්නෙ. එයාලා ඒ එක්කම බිම බලා ගත්තා. ඒ ළමයි දෙන්නගෙන් කෙනෙක් එක පාරටම මගේ හිතේ ඇදුනා.
ටීච කිව්වා පන්තිය පටන් ගත්තෙ ගිය සතියෙ ඒක නිසා ඒ ටික පොතක් ඉල්ලන් ලියා ගන්න කියලා.
ටීචගෙ පුතා ගත් කටටම කිව්වා "අම්මෙ මගෙ පොතේ හරියට ලියල නෑ" කියලා.
මගෙ යාලු අනිත් පිරිමි ළමයා ගිය සතියෙ ඇවිත් තිබුනෙ නෑ. ඉතින් ටීච ගෑනු ලමයි දිහාට හැරිලා "................,(ගෑනු ළමයගෙ නම කිව්වෙ ) ඔයාගෙ පොත දෙන්න කිව්වා. එයා "හා..." කිව්ව. හරියටම අර ගෑනු ළමයා....!
එදා ඉදන් ඒ පන්තිය මට ප්රියමනාප තැනක් උනා (ගෑනු ළමය හින්දම නෙමෙයි, ඒ පන්තියෙ හැමදෙයක්ම මම හොදට දන්න කියන දේවල් වගේ මට දැනුනා. කාලයත් එක්ක එකේ ගෑනු ළමයි මා එක්ක ගොඩක් හිතවත් උනා. අනිත් පිරිමි ළමයි එයාලව බයිට් එකට ගත්තත් මම එහෙම නොකරපු නිසා වෙන්නත් ඇති )
ටීචගෙ හිත දිනා ගන්න නම් මට වැඩි කාලයක් ගියෙත් නෑ. සමහර දවස් වල ටීච එන්න පරක්කු උනහම කෝල් කරලා ගෙදර අයට කියනව අපිට කියන්න කියල ඒ ඒ වෙලාවට කරන්න ඕන දේවල් (විශේෂයෙන්ම නෝට් සම්පූර්ණ කරන්න, අනිත් අයට ලියන්න එවා කියවන්නෙ මම, ඒත් මම ටිකක් කියවලා ඉතුරු ටික අර ළමයට දෙනවා. එයා ලස්සනට හිනා වෙලා පොත මගෙන් ගන්න හැටි මට තවම මතකයි.... )
"නිමානොවන පෙම් හැගුම්...
මහා සමුදුරක් ලෙසින්..."
දවසක් මට හිතුනා මගේ හිතේ තියෙන දේවල් එයාට කියන්න...
"මගේ හිතේ ඇති දහසක් පැතුමන් - ඔබ හට නැත කියලා....
කෙසේ අහන්නද මගෙ අත ගන්නට - සතුටුද ඔබ කියලා....."
ඒත් කොහොම හරි මම එයාට ලියුමක් ලියන්න හිත තද කර ගත්තා...
"මදු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි....
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි..."
......................................
එයා පන්ති එනකම් මම බලන් ඉන්නවා. මට මතකයි එයා එනවා දැක්කම මට දැනෙන සතුට.
"අනන්තයට යන පාර දිගේ... ඇය එනවා....//
ප්රාර්ථනාවේ.. මල්.. පොකුරු අරන්.. සීතල පිනි වැස්සේ..."
වෙලාවකට ම0 කියන දේවල් වලට මූන එල්ලගෙන ම0 එයාව යාලු කරගන්න කන් එයා නෝක්කාඩු බැල්මකින් මගේ දිහා බලාගෙන ඉන්නවා.
"කුමාරියක් වගේ නුබට රුව දීලා ඇත...
සිනා බිදක් මට දෙන්නට සිත දීලා නැත..."
..........................................
එයා රට යනව කිව්වා. ඒ කියන්නෙ සමහර විට මට අයෙ එයාව හම්බෙන එකක් නෑ. මොකද එයාලා දිගටම එහෙ ඉන්නලු යන්නෙ. එයා අඩනවා... එයාට මව අමතක වෙන්නෙ නෑලු.
"නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි..."
..........................................
අද මට එයාව දකින්න ලැබෙන අන්තිම දවස...
"මේ.. නගරය.. මා ඔබ මුන ගැසුනු නගරයයි....
මේ.. නගරය.. මා ඔබ වෙන් කෙරුනු නගරයයි...."
...........................................
එයා රට යනවා දැන් මට අයෙ එයාව හම්බෙන එකක් නෑ... ඒත් එකම එක දෙයක් මට කියන්න පුලුවන්...
"ඔබ මා හමුවුන මේ ඉර-හද යට...
කොතැනක සිටියත් මා මළ දවසක...
මගෙ ළග තනියට ඉනු මැනවී//"