මං පොඩි කාලෙ නින්ද යන්න නම් තාත්තා කතාවක් කියන්නම ඕනෙ. නැත්නම් නිදා ගන්නෙම නෑ මං.
මං ආයෙ ආයෙ අහපු ලස්සනම කතාවක් තමයි "ලබ්බෙ තොවිලෙ".
ඒකෙන් කියවුනේ ලබු ගෙඩියක් ඇතුලෙ තොවිලයක් නටපු හැටි ගැන. ඔයාලටත් කියවන්න මං ඒක දානවා.
ඔන්න එකෝමත් එක කාලෙක පිටිසර ගමක ගමරාල කෙනෙකුට අයිති වගාවක ලොකුම ලොකු ලබු ගෙඩියක් හැදුනා. කොච්චර ලොකුද කියනව නම් මුලු ගම තරම්ම ලොකූ එකක්!. ගමේ හැමෝම ආවා මේක බලන්න. මේ අල්ල පනල්ලෙ ගමරාලගෙ දුවට පෙර්ත දෝසයක් කියල ගමේ ගෙදර තොවිලයක් නටන්න ලෑස්ති කලා.
ඔන්න දැන් ගමේ මිනිස්සු ගජරාමෙට තොවිලෙට වැඩ. සමහරු පුවක් ගස් කපනවා, සමහරු කෙසෙල් කොට කපනවා,සමහරු බලි අඹනවා,ගමේ බවලත් උදවිය ඉන්න අයට තේ, කෑම අල්ලනවා වගේ වැඩ.
ඔන්න දවස් ගානක්ම කට්ටිය මේකට වැඩලු. තොවිලෙ තියෙන දවසෙ මහා වැස්සක් පටන් ගත්තා. දැන් ගමේ මිනිස්සු ඔක්කොම ගමරාලගෙ ගෙදර නිසා ඉඩ කඩත් මදි. වැස්ස නිසා එළියට යන්නත් බෑ. ඒ අතරෙ එක මිනිහෙක් කිව්වා
"අපි අර ලබුගෙඩිය කපල ඒක ඇතුලෙ තොවිලෙ නටමු" කියලා.
ගමරාලට කල්පනා උනා වැඩේ ඇත්ත තමා කියලා. ඊට පස්සෙ ගමේ කොල්ලො කුරුට්ටො එකතු වෙලා වැස්සෙම ලබු ගෙඩිය කැපුවා. ඊට පස්සෙ ඒකෙ නැට්ට ගාව කැපුව පියනක් වගේ. ඊට පස්සෙ ඇතුල හාරල අයින් කලා. ඊට පස්සෙ ගමේ හැමෝම ඇතුලට රිංගුවා, පියන වගේ කොටස ඇතුලෙන් ලණුවකින් තද බැද ගත්තා.
දැන් ඔක්කොම හරි. ගමේ මිනිස්සුයි,බෙර කාරයොයි,නැට්ටුවොයි ඔක්කොම එක පොදියට ඇතුලෙ.
ඔන්න දැන් වැඩේ පටන් ගත්තා. ලබු ගෙඩිය තියෙන්නෙ මිදුල මැද. වැස්සත් ටික ටික වැඩි උනා. ඔන්න දැන් මහ සද්දෙන් බෙර ගගහ තොවිලෙ ජයටම යනවා, මිනිස්සු විට කකා තේ බිබී බලන් ඉන්නව. ළමයි සෙල්ලම් කරනවා එක එක වැඩ.
"මෙන්න වැඩක්!"
"ඇයි මොකෝ උනේ"
මිදුල මැද තිබුන ලබු ගෙඩිය වැහි වතුර එකතු වෙලා මිදුල මැද ලාවට වගේ පාවෙන්නත් පටන් අරගෙන.
**********
දැන් ගමේ ගංගාව පිටාර ගලනවා. මිදුල, ගෙවල් තියා ගස් වල කරටි වලටත් උඩින් වතුර. ලබු ගෙඩිය ඉපිලෙමින් පාවෙනව...
"ඒ ඇයි ඒ......??"
***********
"වැස්ස......! වැස්ස......!! වැස්ස......!!!"
ලබුගෙඩිය වතුර පාරෙ සැරට ගහගෙන යන්නත් පටන් ගත්තා.
************
(තාත්ත හැමදාම වගේ කතාවෙ ඔය හරියට ඇවිත් නතර කරනව)
"ඉතුරු ටික හෙට කියන්නද?"
"අනේ බෑ අදම ඔනේ"
"ඉතින්..... ඔන්න දැන්.............."
ඉතින් ඔන්න දැන් ලබු ගෙඩිය පාවෙලා ඇවිත් ඇළට වැටුනා...
(ඔන්න ඔය ටික තමා මං ආසම ටික තාත්ත හරි ලස්සනට උච්චාරනය කරල කියනව මේ ටික)
"ලබු ගෙඩිය ඇළෙන් දොළට; දොළෙන් ගගට; ගගෙන් ඉතිං ඕන් මුහුදට...."
"අනේ ඒ ටික ආයෙත් කියන්න"
(තාත්තා ආයෙත් කියනව ඒ ටික)
ඔන්න ලබු ගෙඩිය මුහුදෙත් දැන් ගහගෙන යනවා. ඔහොම ගහගෙන යනවා. ඇතුලෙ තොවිලෙ නටන එකත් ජයටම යනව....
ඔහොම හය දවසක්ම ලබුගෙඩිය ගහගෙන ගහගෙන ගියා. අද තමා තොවිලෙ අන්තිම දවස.
මේ වෙලාවෙ මාර වැඩක් උනා. දවස් ගානක් බඩගින්නෙ හිටපු මෝරෙක් ලබු ගෙඩිය ගිල්ලා.
"අයියෝ මිනිස්සු මැරෙන්න ඇති"
"නෑ....! එයාල දන්නෙවත් නෑ"
**********
මුහුදෙ ගිය මාලු අල්ලන කට්ටියක් දාපු දැලකට මේ මෝරා අහු උනා. මිනිස්සු ගොඩක් අමාරුවෙන් දැල ඇදගෙන ගොඩට ආවා. වෙන මෝරුන්ට වඩා මේ මෝරාගේ බර වැඩියි. එයාලා බොහොම අමාරුවෙන් බඩ පලලා බැලුවා. මෙන්න බොලේ ලොකු ලබු ගෙඩියක් තියෙනවා. බෙර සද්දෙකුත් ඇහෙනවා. මිනිස්සු බය උනා.
එයාලා මේක රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවො ලබු ගෙඩිය අලි ඇත්තු දම්මලා ඇදගෙන මාළිගාවට ගෙනාවා. පාරෙ දිගේ ගෙනියන බෙර සද්ද ඇහෙන මේ ලබු ගෙඩිය බලන්න ඒ රටේ මිනිස්සුත් ආවා.
රජ්ජුරුවෝ ලබු ගෙඩිය පලන්න අණ කලා. මෙන්න බොලේ ඒක ඇතුලෙ මිනිස්සු පොකුරක් ඉන්නවා.
හරියටම මේ වෙලාවෙම තොවිලෙ නටල අවසන් උනා.
ලබු ගෙඩියෙ හිටපු මිනිස්සුයි, මාළිගාවට ඇවිත් හිටපු අයයි මූණට මූණ බැලුව.
හැමෝම පුදුම වෙලා. මොකක්ද මේ උනේ කියලා.......
*********
කොහොමින් කොහොම හරි රජ්ජුරුවො මැදිහත් වෙලා සම්පූර්ණ කතාවම දැන ගත්තා.
අර තොවිලෙ නටන්න හේතු උන ගමරාළගෙ දුවව රජ්ජුරුවෝ විවාහ කර ගත්තා.
ගමරාළ ඇතුලු ගමේ අය ඒ රටේ පදිංචි උනා.
(ඇත්තටම කතාවෙ ඔය හරිය කියන කොට මං හොදටම නිදි. ඒක නිසා ඒ ටික මම හිතලා නිර්මාණය කලා)
No comments:
Post a Comment
ඔයාලගෙ අදහස් දෙන්න