Saturday, August 12, 2017

තාත්තගෙන් කතන්දර අහපු හැටි


මං පොඩි කාලෙ නින්ද යන්න නම් තාත්තා කතාවක් කියන්නම ඕනෙ. නැත්නම් නිදා ගන්නෙම නෑ මං.
මං ආයෙ ආයෙ අහපු ලස්සනම කතාවක් තමයි "ලබ්බෙ තොවිලෙ".
 ඒකෙන් කියවුනේ ලබු ගෙඩියක් ඇතුලෙ තොවිලයක් නටපු හැටි ගැන. ඔයාලටත් කියවන්න මං ඒක දානවා.
ඔන්න එකෝමත් එක කාලෙක පිටිසර ගමක ගමරාල කෙනෙකුට අයිති වගාවක ලොකුම ලොකු ලබු ගෙඩියක් හැදුනා. කොච්චර ලොකුද කියනව නම් මුලු ගම තරම්ම ලොකූ එකක්!. ගමේ හැමෝම ආවා මේක බලන්න. මේ අල්ල පනල්ලෙ ගමරාලගෙ දුවට පෙර්ත දෝසයක් කියල ගමේ ගෙදර තොවිලයක් නටන්න ලෑස්ති කලා.
ඔන්න දැන් ගමේ මිනිස්සු ගජරාමෙට තොවිලෙට වැඩ. සමහරු පුවක් ගස් කපනවා, සමහරු කෙසෙල් කොට කපනවා,සමහරු බලි අඹනවා,ගමේ බවලත් උදවිය ඉන්න අයට තේ, කෑම අල්ලනවා වගේ වැඩ.
ඔන්න දවස් ගානක්ම කට්ටිය මේකට වැඩලු. තොවිලෙ තියෙන දවසෙ මහා වැස්සක් පටන් ගත්තා. දැන් ගමේ මිනිස්සු ඔක්කොම ගමරාලගෙ ගෙදර නිසා ඉඩ කඩත් මදි. වැස්ස නිසා එළියට යන්නත් බෑ. ඒ අතරෙ එක මිනිහෙක් කිව්වා
"අපි අර ලබුගෙඩිය කපල ඒක ඇතුලෙ තොවිලෙ නටමු"   කියලා.
ගමරාලට කල්පනා උනා වැඩේ ඇත්ත තමා කියලා. ඊට පස්සෙ ගමේ කොල්ලො කුරුට්ටො එකතු වෙලා  වැස්සෙම ලබු ගෙඩිය කැපුවා. ඊට පස්සෙ ඒකෙ නැට්ට ගාව කැපුව පියනක් වගේ. ඊට පස්සෙ ඇතුල හාරල අයින් කලා. ඊට පස්සෙ ගමේ හැමෝම ඇතුලට රිංගුවා, පියන වගේ කොටස ඇතුලෙන් ලණුවකින් තද බැද ගත්තා.
දැන් ඔක්කොම හරි. ගමේ මිනිස්සුයි,බෙර කාරයොයි,නැට්ටුවොයි ඔක්කොම එක පොදියට ඇතුලෙ.
ඔන්න දැන් වැඩේ පටන් ගත්තා. ලබු ගෙඩිය තියෙන්නෙ මිදුල මැද. වැස්සත් ටික ටික වැඩි උනා. ඔන්න දැන් මහ සද්දෙන් බෙර ගගහ තොවිලෙ ජයටම යනවා, මිනිස්සු විට කකා තේ බිබී බලන් ඉන්නව. ළමයි සෙල්ලම් කරනවා එක එක වැඩ.
"මෙන්න වැඩක්!"
"ඇයි මොකෝ උනේ"
මිදුල මැද තිබුන ලබු ගෙඩිය වැහි වතුර එකතු වෙලා මිදුල මැද ලාවට වගේ පාවෙන්නත් පටන් අරගෙන.
**********
දැන් ගමේ ගංගාව පිටාර ගලනවා. මිදුල, ගෙවල් තියා ගස් වල කරටි වලටත් උඩින් වතුර. ලබු ගෙඩිය ඉපිලෙමින් පාවෙනව...
 "ඒ ඇයි ඒ......??"
***********
"වැස්ස......! වැස්ස......!! වැස්ස......!!!"
ලබුගෙඩිය වතුර පාරෙ සැරට ගහගෙන යන්නත් පටන් ගත්තා.
************
(තාත්ත හැමදාම වගේ කතාවෙ ඔය හරියට ඇවිත් නතර කරනව)
"ඉතුරු ටික හෙට කියන්නද?"
"අනේ බෑ අදම ඔනේ"
"ඉතින්.....  ඔන්න දැන්.............."
ඉතින් ඔන්න දැන් ලබු ගෙඩිය පාවෙලා ඇවිත් ඇළට වැටුනා...
(ඔන්න ඔය ටික තමා මං ආසම ටික තාත්ත හරි ලස්සනට උච්චාරනය කරල කියනව මේ ටික)
"ලබු ගෙඩිය ඇළෙන් දොළට; දොළෙන් ගගට; ගගෙන් ඉතිං ඕන් මුහුදට...."
"අනේ ඒ ටික ආයෙත් කියන්න"
(තාත්තා ආයෙත් කියනව ඒ ටික)
ඔන්න ලබු ගෙඩිය මුහුදෙත් දැන් ගහගෙන යනවා. ඔහොම ගහගෙන යනවා. ඇතුලෙ තොවිලෙ නටන එකත් ජයටම යනව....
ඔහොම හය දවසක්ම ලබුගෙඩිය ගහගෙන ගහගෙන ගියා. අද තමා තොවිලෙ අන්තිම දවස.
මේ වෙලාවෙ මාර වැඩක් උනා. දවස් ගානක් බඩගින්නෙ හිටපු මෝරෙක් ලබු ගෙඩිය ගිල්ලා.
"අයියෝ මිනිස්සු මැරෙන්න ඇති"
"නෑ....! එයාල දන්නෙවත් නෑ"
**********
මුහුදෙ ගිය මාලු අල්ලන කට්ටියක් දාපු දැලකට මේ මෝරා අහු උනා. මිනිස්සු ගොඩක් අමාරුවෙන් දැල ඇදගෙන ගොඩට ආවා. වෙන මෝරුන්ට වඩා මේ මෝරාගේ බර වැඩියි. එයාලා බොහොම අමාරුවෙන් බඩ පලලා බැලුවා. මෙන්න බොලේ ලොකු ලබු ගෙඩියක් තියෙනවා. බෙර සද්දෙකුත් ඇහෙනවා. මිනිස්සු බය උනා.
එයාලා මේක රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවො ලබු ගෙඩිය අලි ඇත්තු දම්මලා ඇදගෙන මාළිගාවට ගෙනාවා. පාරෙ දිගේ ගෙනියන බෙර සද්ද ඇහෙන මේ ලබු ගෙඩිය බලන්න ඒ රටේ මිනිස්සුත් ආවා.
රජ්ජුරුවෝ ලබු ගෙඩිය පලන්න අණ කලා. මෙන්න බොලේ ඒක ඇතුලෙ මිනිස්සු පොකුරක් ඉන්නවා.
හරියටම මේ වෙලාවෙම තොවිලෙ නටල අවසන් උනා.
ලබු ගෙඩියෙ හිටපු මිනිස්සුයි, මාළිගාවට ඇවිත් හිටපු අයයි මූණට මූණ බැලුව.
හැමෝම පුදුම වෙලා. මොකක්ද මේ උනේ කියලා.......
*********
කොහොමින් කොහොම හරි රජ්ජුරුවො මැදිහත් වෙලා සම්පූර්ණ කතාවම දැන ගත්තා.
අර තොවිලෙ නටන්න හේතු උන ගමරාළගෙ දුවව රජ්ජුරුවෝ විවාහ කර ගත්තා.
ගමරාළ ඇතුලු ගමේ අය ඒ රටේ පදිංචි උනා.
(ඇත්තටම කතාවෙ ඔය හරිය කියන කොට මං හොදටම නිදි. ඒක නිසා ඒ ටික මම හිතලා නිර්මාණය කලා)

මා හා එදා පිය සාදයේ


මටත් පාටියට කතා කරල තිබුන. අපේ අනිත් අයට නම් ගෑනු ළමයි ඉන්න නිසා එයාල පාටි වලට යන්න කැමතියි.
මට එහෙම කෙනෙක් නැති නිසා මට ඒවගෙ විශේෂයක් නෑ.
...........................
මම පාටියෙ කොච්චර වෙලා හිටියද දන්නෙ නෑ. හැබැයි මම මගෙ යාලුවො එයාලගෙ ගෑනු ළමයි එක්ක කතා බහ කරන හැටි මම දැක්ක. මම වාඩි වෙලා හිටියා.
............................
ටික වෙලාවක් ඔහොම ඉන්නකොට මට අහම්බෙන් ඇහැ ගැටුන මම වගේම තවත් මේසෙක වාඩි වෙලා හිටපු ගෑනු ළමයෙක්ව. (එයාගෙ යාලුවොත් පිරිමි ළමයි එක්ක නටනව ඇති,කතා බහ කරනව ඇති) ඒ නිසාම මෙයාට කවුරුත් නැතිව ඇති කියල මට හිතුන.

...............................
මටම හිතා ගන්න බෑ මම එයා ගාවට ගියේ හීනෙන් වගේ.
"මං එක්ක නටන්න එනවද ?"
ඒ ළමය මං දිහා බලල අහිංසක විදිහට හිනා උනා.
මට තේරුනා එයා ඒකට එකගයි කියල. මම අත දික් කරහම එයා එයාගෙ අත මගෙ අත උඩින් තිබ්බ.
................................
අපි ගොඩ වෙලාවක් නටන්න ඇති, මට කාලය ගැන අවබෝධයක් තිබුනෙ නෑ.
...........
එක පාරටම විදුලිය විසන්ධි උනා. මම අඩ අදුරෙ දැක්ක ගොඩක් ගෑනු ළමයි පිරිමි ළමයිගෙ අත් අත ඇරල ආපහු මේස වලට යනව.
............
ඒත් අර ගෑනු ළමය මගෙ අත අත ඇරල ගියෙ නෑ. මට මගෙ හදවත වේගෙන් ගැහෙනව දැනුන.
............
පාටිය ඉවර උනා. එයත් ගියා. මම එතනින් පිටවෙලා මගෙ කාර් එකට නැගල ස්ටාට් කරා. කාර් එකේ රේඩියෝ එකෙන් මිල්ටන් මල්ලවාරච්චි මං වෙනුවෙන් මෙහෙම කියනව.
.............

ජීවිතේ ගීත


සිංදු අහන එක මගේ ප්රියතම විනෝදාංශ වලින් එකක්. මම සිංදු අහගෙන යනකොට සමහර සිංදු වල එක කොටසක් විතරක් අහගෙන ඉඳලා ඊළඟ සිංදුවට දාන එක දැං පුරුද්දකට ගිහිල්ලා.
මම ඒ ගැන මුලදි එච්චර උනන්දුවක් නොදැක්වුවත් අද මගෙ මනෝලෝකෙ එක කෙළවරක හිටපු මට ඒ ගැන නිරායාසයෙන්ම කල්පනා උනා.
සමහර සිංදු තියෙනව ඒවගෙ එක්තරා වචන සෙට් එකකට අපි ආසයි. වෙනත් විදිහකින් කිව්වොත් සිංදුවල තියෙන අපිට වැදුන තැන්.
මම මගෙ වට්ස් ඇප් ස්ටේටස් වලට දාලා තියෙන්නෙත් එහෙම ඒවා තමයි. ඇත්තම කිව්වොත් ඒ වචන ඛන්ඩ වල මම ජීවත් වෙනව වගේ මට දැනෙන තැන්.
මං එච්චර උනන්දුවක් නොදක්වන ගායකයින්ගෙ සමහර සිංදු තියෙනව මම ගොඩක් ආස ඒව.
"ඔබෙ සුසුම් පවන් සලයි... මගෙ කොපුල් පුරා වෙලෙයි... ඔබෙ සෙනෙහස ගොඩ ගලයි... උනුසුමට මාව තෙමයි..."
"...පෙම්වතිය පෙම්වතාගෙ උරහිසේ ඇඟේ නිකට තියාගෙන ඉකි බිඳිනවා... පෙම්වතා ඒ අවස්ථාව සංයමයෙන් යුතුව ඉවසනවා..."
"...පෙම්වතිය හෙලන සුසුමක් ඔහුගෙ මුහුනෙ කම්මුල් පිසගෙන ඇදී යන බව ඔහු කියන්නෙ ඇඟේ සුසුම් තමන්ගෙ කම්මුල හරහා පවන් සලාගෙන ඇදීයන විදිහට... ඒ අවස්ථාවෙ ඈ කෙරෙහි රාගයෙන් තොර ස්නේහයක් ඔහුට ඇති වෙන බව ඔහු කියන්නෙ ඈ කෙරෙහි සෙනෙහසක් උතුරා යන පිටාර යන ආකාරයෙන්... ඒ සමඟම ඇගෙන් ගිලිහෙන කදුලු ඔහුගේ උරහිසෙහි පතිත වෙන උනුසුම ඔහුගේ සිතුවිලි දාමය බිද හෙලනවා..."
"මේ මැයි ගහ යට... දවසක් දා... වැස්සට අපි උන්නා..."
මේ සිංදුවත් මම ගොඩක් ආස කරන මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන එකක්.
"...ජ'පුර කැම්පස් එකේ පාර දෙපැත්තෙ මැයි ගස් තියෙනව කියල මම අහලා තියෙනව (මට කැම්පස් යන්න බැරි උනත් ඒ අවස්ථාව මගේ මනසේ සිත්තම් කරන්න ඒ පද සමත් වෙනවා.)..."
"...පෙම්වතා මැයි ගස් යාය අද්දරින් යන හැමවෙලාවක ඔහුට ඒ අතීතය මැවෙනවා. ඇය සමඟ ඒ දොඩමලු වෙච්ච හැටි ඔහුට ආයෙ ආයෙ මැවිල පේනව ඇති කියල මගෙ හිත මට කියනවා..."
"...ආදර වියෝවක් සිතින් එබෙන සඳ වැහි පොද සේ... නෙතු කඳුලු සැලේ..."
****************
මතු සම්බන්ධයි

සල්ලි දීලා ජරාව බීම


"අක්කෙ මං ඔයාලත් එක්ක මෙව්ව 1ක් බිව්ව කියල මගෙ බ්ලොග් එකේ දාන්නම්කො" කියල මම ඩිලංකා අක්කට කිව්වෙ අසංක අයියා මොකක්ද මංද අයිස් දාපු ඉලව් බීම ජාතියක් ගේන්නම් කියල ඒකට මගෙනුත් සල්ලි ඩිලංකා අක්කගෙ එකවුන්ට් එකට ට්රාන්සර් කරපු වෙලාවෙ. එතකොට රශ්මි අක්කත් මගෙන් බ්ලොග් එක ගැන අහල ලින්ක් එක ඉල්ලන් බැලුව. මෙන්න ඊළඟ දවසෙ කියනව "අකේෂ් මං බැලුව පොඩ්ඩයිනෙ තියෙන්නෙ බ්ලොග් එකේ " කියල රශ්මි අක්ක කිව්ව.
ඉතිං මම කල්පනා කලා අයේ පෝස්ට් එකක් දාන්න.
.................
බීම ගැන කිව්වොත් ඒක පෙර ගෙවුම් ක්රමයට ඩිලිවරි කරන එකක් (සැ.යු. අසංක අයියා කිව්ව වෙලාවෙ බීම ගෙනාවෙ නෑ කියන එක නම් මම අදහස් කලේ නෑ..බළධරියා විසින් කපා හරින ලදී ) සල්ලි දීල දවස් 2,3 කට පස්සෙ තමයි හම්බුනෙ. අර කවුද කිව්ව වගේ හරියටම තේරුම් ගන්න කරලම බලන්න ඕනෙලු.
මමත් රතු පාටට පෙනුන නිසා ඒ වර්ගෙම ඕඩර් කරා, ඩිලංක අක්කත් ඒ ජාතියම ගෙනෙල්ල කියපංකො හිටං.
ඉතිං පෙරුම්පුරාගෙන ආ සංසාරෙ මමත් ගත්තු ගමන් උගුරක් දෙකක් බීල බැලුව. ඒ ජරාව මේ ඊයෙ පෙරේදා කැම්පේන් ගිහින් රෑට කාපු කොත්තුවට හපන්.
ඇති යන්තන් බීම ජාති බඩේ අමාරුව වෙනකන් ගේම ඉල්ලන්නෙ නෑ. බැරිම තැන මම මගේ අවංක හඳ පතුලෙන් නැගුන ඒ කොමෙන්ටුව ඉදිරිපත් කලා. "රශ්මි අක්ක අපිව නොමග යවල හොදම එක බිව්ව නෙහ්" කියල. මෙන්න බොලේ අක්ක කියනව "මම නම් කාටවත් මුකුත් කිව්වෙ නෑ ඕන ජාතිය අරගන්න කියල කිව්වෙ කියල" අම්මෝ වස! (කිව්වට මොකෝ එහෙම වසයි කිව්වට වසත් නෑ, හැබැයි ඩිලංකා අක්ක නම් කියන්නෙ .......... කියල. [බළධාරියා විසින් කපා හරින ලදී.] ඩිලංක අක්කට කියන්නෙ .......... කියල. (කරුමෙ කියන්නෙ ඒකත් මේ මිනිහා කපා හැරියා කියහංකො )
.....................
මම දැන් ඉන්න තැන කලින් හිටපු තැනට වඩා ටිකක් හොඳයි. රට වටේම ඇවිදිනවා. මේ ඊයෙ පෙරේද බණ්ඩාරවෙල ගිහින් වැඩකාරය වගේ හිටියට මොකෝ පළවෙනි පාර එහෙ ගියෙ කබරයා පෙනි පෙනී. කබරයගෙයි මගෙයි දෛවෝපගත සම්බන්ධෙ කොයි වගේද කිව්වොත් අජන්ත අයියා (ඩ්රයිවර්) අන්තිම වංගු දෙගේ ඇද අරිනකම් මුට කාගෙන ඉන්න බෑමයි කිව්ව. (ලොවෙත් හිටියෙ නැති කබරය ඇහැරුනේ වමනෙ පෙති කියන මළ ජරාව බිව්වට පස්සෙ. මම හිතන්නෙ එව්වට වමනෙ පෙති කියන්නෙ බිව්වට පස්සෙ කබරය ලෝඩ් වෙන හින්දද කොහෙද.
....................
සුලාජ් අයියා මගෙ ට්රේනර්. මම එයා එක්ක ගමන් බිමන් යන්න කැමති වෙන්න හේතුව එයත් මං වගේම ක්ලැරන්ස්ගෙ සින්දු වලට වහ වැටිච්ච කෙනෙක් වෙච්ච එක. වාහනෙ යද්දි අනිවාරෙන් ඒ සිංදු අහගෙන යන නිසා මගේ මනෝ ලෝකෙ දොර ගාවට මාව නොදැනීම වගේ ගමන් කරනවා.
.......................
මම මේ ළඟදි දවසක අම්මා හදල දුන්න පේර වගයක් ඔෆිස් අරන් ගිහින් කට්ටියට දුන්නා. වැඩේ කියන්නෙ එදා හිටියෙ නුවන් අයියයි , අක්ක නඟෝල දෙන්නයි විතරයි. වැඩේ කියන්නෙ වින්ද්යා අයියයි, සුලාජ් අයියයි, අසංක අයියයි නැති වෙන්නෙත් එහෙම දවස් වලට. (බළධාරියා විසින් කපා හැරීමට රැකගෙන බලා සිටි වාක්යක් මා විසින් සිහි කල්පනාව ඇවිදින් නූලෙන් ජාමෙ ගොඩ දාමින් ඉවත් කොරගන්නා ලදී. )
.........................
ඉතිරිය බළධාරියා විසින් තවමත් අවසර දී නොමැති හෙයින් ඉදිරි දිනකදී පල කරනු ලැබේ.

Monday, August 7, 2017

වීර්ය


මගෙ ඉස්කෝලෙ කාලෙ යාළුවෙක් ඉන්නවා යොහාන් ප්‍රතිරංග කියලා එයාගෙ වට්ස්-ඇප් ස්ටේටස් වලට දාල තිබුන එක්තරා සේයාරුවක් මාව මේ පෝස්ට් එක ලියන්න පෙළඹෙව්වා.
ගොඩක් පුංචි ලේන් පැටියෙක් හිම වැටෙන වෙලාවක අතු රිකිල්ලක් උඩ ඉන්න පින්තූරයක් ඒකෙ තිබුනෙ ඒ පැටියගෙ තරමෙ හැටියට ඌ කොච්චර දුකක් විඳිනව ඇතිද කියලා මට හිතුනා.
ඒත් එක්කම ඒක මගේ හිතෙ ඇඳුනා. ඒ වගේම මට ලොකු චිත්ත ධෛර්‍යක් ගෙනාවා. දවසේ ආරම්භයේ ඉඳන් රෑ නිදාගන්න වෙලාව වෙනකන් මම මගේ කාලය ශ්‍රමය අනුන් වෙනුවෙන් කොච්චර මිඩංගු කරාද කියලා හිතලා මම ලොකු සතුටක් ලබනවා. වෙලාවකට දුක් දෝමනස්ස අහන් ඉඳලා ඒවට මට හැගෙන දැනෙන විදිහට විසදුම් දෙන එක, මට පුළුවන් උපරිමයෙන් වැඩ කරන එක,වචනෙකින්  හරි උදව්වක් කරන එක,අනිත් අය වෙනුවෙන් පෙනී සිටින එක, ඒ ඔක්කොම එක්ක ඉවසන එක. මේ හැමදේකටම අකේෂ් ධනුක කියන පුද්ගලයව හුරු කරලා ලෝකෙට දායාද කරපු මගෙ දෙමව්පියෝ වගේම මගේ ඉස්කෝලෙන් මට ලැබුනු නායකත්වය දරන්න ලැබුනු අවස්ථා මම ආඩම්බරයෙන් මතක් කරන්නෙ ඒ නිසා.
........ ඉස්කෝලෙ කොමස් ඩේ එක දවසෙ කෑවෙ නැති එකම කෙනා මම වෙන්නත් ඇති. ඒත් එදා මට ලැබුනු පන්නරය මාව හැමදාටම ශක්තිමත් කරනවා. එදා ළමයි කට්ටියක් කෑම වැඩියෙනුත් අරගෙන අන්තිම ළමයි දෙන්නෙක්ට මදි වෙලා මම මගෙ කෑම එක නොගෙන "ආ... එකයි තියෙන්නෙ ශේප් එකේ කාපං" කියලා ඒ දෙන්නට දුන්නා. ඕක අපේ පන්තිභාර ටීච බලන් හිටියා කියලා මම දන්නෙ නෑ. ටීට පහුවදා ශ්‍රේණි රැස්වීමෙදි ඒක හැමෝම ඉස්සරහ කිව්වා. "ධනුක  තුලින් මම පීතෘ මූලික නායකයෙක් දැක්කා, ඒ දරුවගෙ ගුරුවරයා වෙච්ච එක ගැන මම හැමදාටම ආඩම්බරයි" කියලා ටීච කිව්වා (ටීච මට ධනුක කියලා කියන්නෙ). ඒ වෙලාවෙ තමයි මම දැන ගත්තෙ ටීච ඒ සිදුවීම දන්න බව. මට ලැජ්ජත් හිතුනා. ඒ එක්කම ඒ වචන මට ලොකු ශක්තියක් උනා. අකේෂ් කියන පුද්ගලයා වීම ගැන මම අදටත් සතුටු වෙනවා වගේම මැරෙන දවසක මම හොඳ මිනිහෙක් විදිහට මැරෙනවා කියලා මට සතුටු වෙන්න පුලුවන්. (මම මේ පෝස්ට් එක ලියන්නෙ මගෙ වරුණ කියන්න නෙමෙයි. මේක දකින කෙනෙක් යම් දෙයක් ඉගෙන ගත්ත නම් ඒක මට සතුටක්. මගෙ යලුවො, දෙමව්පියො, ගුරුවරු, මාව එක දවසක් හරි ආශ්‍රය කරපු කෙනෙක් නම්; එයා මං ගැන දන්නවා ඒනිසා මම කවුද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැති බව මම දන්නවා.)
තමන් නිසා කෙනෙක් සතුටක් ලබනවා නම් ඒක තමයි මිනිහෙක්ට තියෙන ලොකුම ආශීර්වදය වගේම තව තවත් වීරිය වන්තව කටයුතු කරන්න තියෙන උත්තේජනය කියලත් ධනූ විශ්වාස කරනවා.

වෙරළ අහිමි මුහුදක්!

 මං උදේ හවස කෝච්චියේ යන එන ගමනෙදි නොයෙක් දේවල් දකිනව. ඒ අතරින් මගෙ හිත වැඩියෙන්ම ඇදිල යන දෙයක් විදිහට කොල්ලුපිටිය මුහුද මගෙ වෙබ් අඩවි පාඨක ඔයගොල්ලො හොඳටම දන්නවා ඇති.
අද මම හවස එනකොට මම මුහුදෙ වතුර වැඩි බවක් දැක්කා. අද උදෙත් මට මුහුදෙ එක්තරා පිරුණු බවක් පෙනුනෙ ඒ නිසා වෙන්න ඇති.
ඒ පිරුණු මුහුද එයා ගැන කොයි තරම් ආඩම්බරෙන් හිටියද කිව්වොත් එයා එයාගෙ රැළි ගොඩක් උඩට ඔසවලා තමන් ගොඩක් ප්‍රභල බව නිතරම කියා පෑවා. ඒත් ඒ අතර යම් වෙනස් කමක් මගේ ඇහැ ගැටුනා.
කොල්ලුපිටිය ස්ටේශන් එක ළඟ මුහුද කොච්චර තමන් ගැන උදම් ඇනුවත් එයාට වෙරළක් නැහැ. අඩුම තරමෙ නිවි හැනහිල්ලෙ තමන්ගෙ රැළි පා කරලා යවන්නවත් වෙරළක් එයාට නැහැ. එයා "වෙරළ අහිමි මුහුදක්..." ඒත් ඒ අඬු ලුහුඬු කම අනිත් අයගෙන් හංගගන්න තරම් කොල්ලුපිටිය මුහුද අසරණ වෙලා කියලා මට පෙනුනෙ අන්න ඒ වෙලාවෙ.
ඒ එක්කම මට උදේම ජනේලෙ ඇරපු ගමන් තමන්ගෙ ශක්තිය ගැන කේවල් කරමින් ගෙට කඩා පනින වේගවත් සීතල හුළඟක් වගේ සිතුවිළි මහා ගොඩාක් කිටි කිටියෙම මගේ හිත් කුහරයට ඇතුල්වුනා නිමේශයකින්ම.
මම හෙමින් ඒ සිතුවිලි කන්දෙ එක කොනකට ළඟා උනා....
"ලෝකයා තමන්ගෙ අඬු ලුහුඬු කම් හංග ගන්න කොයි තරම් තමන්ගෙ රැළි  ඉහල නංවනවද..........?"
***********
මතු සම්බන්ධයි...

Sunday, August 6, 2017

මම,සඳ සහ මම

මම ගොඩක් කැමති දෙයක් රෑට පුටුවක් එළියෙ තියන් අහස බලන් ඉන්න එක. අම්මයි තාත්තයි ඒ වෙලාවට තමයි එයලගෙ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නෙ.
මං බෙල්ල රිදෙනකං අහස බලනවා. ඒ තරු අතරෙ මොකක්දෝ මම නොදන්න (ඇත්තටම මේ ලෝකෙ කවුරුවත් නොදන්න) රහස් කොච්චර නම් ඇතිද කියලත් මට හිතෙනවා. තරුවක් කියන්න චන්ද්රයෙකුට වඩා ප්රභල වස්තුවක් උනත් මට මේ වෙලාවටනම් හඳ තරම් හිතට එබෙන දෙයක් නැති තරම්. සමහර විට පෘතුවියට තවත් හඳවල් ගොඩක් තිබුන නම් ඒ හැඟීම එච්චර මට නොදැනෙන්න තිබුනා.
මම අහල තියෙනව ආදි ජුරාසික් යුගයේ ඒ දැවැන්ත උරගයෝ දැකපු හඳමයි අපිත් නොවෙනස්ව දකින්නෙ කියලා.
හඳ කියන්නෙ විවිධ පැති වලින් කතා කරන්න පුළුවන් සංකල්පයක් උනත් මගෙ හිත ඇදී යන්නෙ හඳේ තියන භෞතික සුන්දරත්වයට.
මං කැමතිම ගායකයා ක්ලැරන්ස් විජේවර්ධනගෙ සිංදු වල වැඩිහරියක හඳ ගැන තියෙනව.
"සඳ පානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතා වෙන්න මගෙ පාලුව මකා ගන්න මිතුරෙක් මා සොයා ගන්නදෝ..."
මට නම් එහෙම ගමන් බිමන් යන්න කොහොමත් කෙනෙක් නැති නිසා හඳ දිහා බලලා ඒ සුන්දරත්වෙ තමයි විදින්න වෙන්නෙ.
"සඳ එක් දිනක් තරු හා බැඳී විමසා බලා අඳුරේ රැදී... තරු වැල් ඉතින් තනිවී සිතින් සිටියා බලා සඳ එයි කියා..."
"සුපුන් සඳ තරු දිලෙන යාමේ මුලු ලොවම නින්දේ අවදි වී ඇති මගේ සිත ලඟ කවුද ඉකි බින්දේ..."
"සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුනා මතකයි මම ඉමි සිහි කරලා..."
සමහර දවසට මම හඳ පායලා මුදුන් වෙනකම්ම බලන් ඉන්නවා. දවසක මම හදන ගෙදර ස්ලැබ් එකේ අහස බලන්න පුලුවන් තැනක් හදන්න ඕනෙ කියන සිතුවිල්ලත් නිතරම හිතට එන්නෙ මම පොල් ගහක හීනි කොල අතරින් අමුතුම ලස්සනක් එක්ක හඳේ ලස්සන කොන්දේසි විරහතව විඳින කොට.
ගස් වල කොල අතරින් දකින හඳේ ඒ මිහිරියාව මං ඇස් දෙකින් විදිනවා.
දවසක් මගෙ හිතවත් ගෑනු ලමයෙකුගෙන් (අර කලින් පෝස්ට් එකක ඉන්නෙත් ඒ ලමයා) මගෙ ෆෝන් එකේ ලොක් ස්ක්රීන් එකට දාගන්න හොඳ පින්තූරයක් ඇහුවම මට දුන්නෙ ලස්සන හඳ පායපු රෑක ගංඟාවක ඔරු තොටුපොළක දර්ශනයක් තියෙන ෆොටෝ එකක්.
මම එදා ඉදන් මේ මොහොත වෙනකනුත් දාගෙන ඉන්නෙ ඒක.
හඳ එළිය කියන්නෙ ඕනෙම කෙනෙකුගෙ හිත නිවන වගේම අවුස්සන්නත් පුලුවන් ශක්ති කදම්භයක්.
හඳ සහ මම අතර තියෙන සම්බන්ධය මට නිශ්චිතව මෙහෙම එකක් කියල නිර්වචනයක් දෙන්න පුලුවන් එකක් නොවුනත් පුළුවන් හැම දවසකම ඒ චමත්කාරය විදිනව මං.

කොල්ලුපිටියෙ ස්ටේෂන් එකේ ඉදන් අතීතෙට

මම දැන් ඉන්නෙ කොල්ලු පිටියෙ ස්ටේෂන් එකේ. මේ වෙලාවෙ මුහුදු හුළඟ වෙන දට වඩා ගොඩාක් සැරයි. හරියට කුණාටුවක් වගේ. කොච්චර රළු පරුෂ පෙනුමක් තිබුනත් මහ මුහුද කියන්නෙ නිතරම මතුපිටින් පෙනෙනෙ දෙයට වඩා යමක් ඇති තැනක්. මේ මහ මුහුද තවමත් මිනිස්සු නොදැකපු නොහිතන දේවල් ගොඩක් හංගගෙන මතුපිටින් නිසල බවත් තවත් වෙලාවක චන්ඩ බවත් අතර තුලනය වෙමින් පෘතුවිය පහල වුන දවසෙ ඉඳලා මේ වනකනුත්, සැක නැතිවම ඉදිරියටත් පවතිනවා.
මුහුද කියන්නෙ කාන්තාවන්ට හොඳ උපමාවක් වගේම මිනිස් හිතට දෙන්න පුලුවන් හොදම උදාහරනයක්.
නිතර වෙනස් වෙන මිනිස් හිත මහ මුහුද පරයා ගොඩක් ඉස්සරහින් ඉන්න බව මං විශ්වාස කරනවා.
..............
උදේ හවස කෝච්චියේ නැඟලා එහෙ මෙහෙ යන්න පුරුදු වෙච්ච මං නානාප්රකාර මිනිස්සු අහලා දැකලා තියෙනවා. එහෙම ඇවිත් කොල්ලුපිටියෙන් බැහැලා මුහුද දිහා බලාගෙන යනවා. කෝච්චියේ ජීවිත දිහා දැකලා නිරායාසයෙන් දුර දුවන හිත වෙලාවකට නැවතිලා මට ආපස්සට හැරිලා බලන්න කියලා බල කරන වාර අනන්තයි.
..............
එහෙම හැරිලා බලන්න තරම් ඉස්පාසුවක් මට නැති බව මට තේරුම් යන්නෙ එතකොට. ජීවිතේ හොදම කාලෙ ඉස්කෝලෙ යන කාලෙ කියල කියන්න එක හේතුවක් තමයි "අපි වගකීම් වලින් තරමක් දුරට නිදහස් කාලයක් ඉස්කෝලෙ කාලෙ කියන්නෙ කියලා" කියන එක මං විශ්වාස කරන දෙයක්. ඉතිං දැන් හැරිලා බලලා අතීතෙ රස විදින්න මොහොතක් හරි මට හම්බවෙන්නෙ මේ වගේ සටහනක් සයිබර් අවකාශයේ කටු ගාන වෙලාවට කියලා මම හොඳටම දන්න නිසා අඩුම තරමින් සතියකට එක පාරක් හරි මගෙ වෙබ් සයිට් එකට පෝස්ට් එකක් දාන්න මාව පොළබවනවා.
.................
මට මතකයි.... මං පොඩි කාලෙ තාත්ත එක්ක හේනේගම මහාබෝධියට ඉස්කෝලෙ ගිය හැටි. තාත්තට ඒ කාලෙ ට්රේල් බයික් එකක් තිබුනා රතුපාට. (මම 3 වසරෙදි විතර තමයි ඒක මාමට දුන්නෙ. එයා ඒක විකුණුවද කොහෙද) පොඩි කාලෙ නෙමෙයි 5 වසර ශිශ්ෂත්ව විභාගෙ පාස් වෙලා ගම්පහ බණ්ඩාරනායකේට 6 ඉදන් ඒ ලෙවල් ඉවර වෙනකනුත් තාත්තා එක්කම තමයි ඉස්කෝලෙ ගියේ.... ඒ 1 වසරෙන් පටන් ගත්තු පිම්ම තාත්තා තවම මාව ඔෆිස් යන්න ගම්පහ ඉස්ටේෂන් එක ගාවට ඩ්රොප් කරනවා. ඇරිලා රෑ වෙලා ගම්පහින් බැස්සම අම්මවයි නංගිවයි දාගෙන මාව එක්කන් යන්නත් එනවා....
....................................
මම ඉස්සර තාත්තා එක්ක බයික් එකේ ගිහින් මාව උස්සලා බිමින් තියල තාත්තා අහනවා "හවස ගෙදර එද්දි මොනවද ඕනෙ?" කියලා. මම කියන්නෙම "සෙල්ලම් ගෙයක්!" කියලා.
ඉතිං තාත්තා අම්මයි ගෙවල් අහල පහළ අක්කලයි කට්ටිය එකතු කරන් ලස්සන ගෙයක් හදනවා ගස් වලට ලණු ඇදලා ඒවට බෙඩ් ශීට් එල්ලලා.
මං ගෙදර එද්දිම බලන්නෙ මට ඕනෙ විදිහට ඒක හදලද කියලා. බැරි වෙලාවත් මට ඕන විදිහට නැත්තන් ඒක හදල දෙන්න සැදී පැහැදිලා ඉන්න අය ගොඩක් මං වටේ හිටියා.
.......................
එක එක ජාතියෙ සුන්දර මතක වලින් පිරිච්ච ලස්සන ළමා කාලයක් මට තිබුනා. හැබැයි දැන් ඒ කාලෙ ගෙවිලා ගිහින්. දැන් දැන් ජීවිතේ වගකීම් පැටවෙන කාලෙ. ඉතින් ඒ වගකීම් දරාගෙන හැබැයි නොමියෙන පුංචි කාලෙ මතක එක්ක කෝච්චියේ ඔට්ටු වෙනවා මං.

සාමාන්‍යපෙළ විද්‍යාව පන්තිය

මම සාමාන්ය පෙළ කරන කාලෙදි විද්යාව ඉගෙන ගන්න ගෙවල් ගාව පන්තියකට ගියා...
පන්තියට ගිය දවසෙ හිටියෙ ළමයි 3යි. ඒ ටීචගෙ පුතයි මමයි තව මගෙ යාලුවෙකුයි තවත් ගෑනු ළමයි දෙන්නෙකුයි ඒ පන්තියෙ හිටියා.
මට හොදට මතකයි ඒ ළමයි දෙන්නා මම අතුලට එනකොටම මගෙ දිහා බැලුවා. මමත් ඒ දෙන්නව දැක්ක කියල එයාලට තේරුනා ම0 හිතන්නෙ. එයාලා ඒ එක්කම බිම බලා ගත්තා. ඒ ළමයි දෙන්නගෙන් කෙනෙක් එක පාරටම මගේ හිතේ ඇදුනා.
ටීච කිව්වා පන්තිය පටන් ගත්තෙ ගිය සතියෙ ඒක නිසා ඒ ටික පොතක් ඉල්ලන් ලියා ගන්න කියලා.
ටීචගෙ පුතා ගත් කටටම කිව්වා "අම්මෙ මගෙ පොතේ හරියට ලියල නෑ" කියලා.
මගෙ යාලු අනිත් පිරිමි ළමයා ගිය සතියෙ ඇවිත් තිබුනෙ නෑ. ඉතින් ටීච ගෑනු ලමයි දිහාට හැරිලා "................,(ගෑනු ළමයගෙ නම කිව්වෙ ) ඔයාගෙ පොත දෙන්න කිව්වා. එයා "හා..." කිව්ව. හරියටම අර ගෑනු ළමයා....!
එදා ඉදන් ඒ පන්තිය මට ප්රියමනාප තැනක් උනා (ගෑනු ළමය හින්දම නෙමෙයි, ඒ පන්තියෙ හැමදෙයක්ම මම හොදට දන්න කියන දේවල් වගේ මට දැනුනා. කාලයත් එක්ක එකේ ගෑනු ළමයි මා එක්ක ගොඩක් හිතවත් උනා. අනිත් පිරිමි ළමයි එයාලව බයිට් එකට ගත්තත් මම එහෙම නොකරපු නිසා වෙන්නත් ඇති )
ටීචගෙ හිත දිනා ගන්න නම් මට වැඩි කාලයක් ගියෙත් නෑ. සමහර දවස් වල ටීච එන්න පරක්කු උනහම කෝල් කරලා ගෙදර අයට කියනව අපිට කියන්න කියල ඒ ඒ වෙලාවට කරන්න ඕන දේවල් (විශේෂයෙන්ම නෝට් සම්පූර්ණ කරන්න, අනිත් අයට ලියන්න එවා කියවන්නෙ මම, ඒත් මම ටිකක් කියවලා ඉතුරු ටික අර ළමයට දෙනවා. එයා ලස්සනට හිනා වෙලා පොත මගෙන් ගන්න හැටි මට තවම මතකයි.... )
"නිමානොවන පෙම් හැගුම්...
මහා සමුදුරක් ලෙසින්..."
දවසක් මට හිතුනා මගේ හිතේ තියෙන දේවල් එයාට කියන්න...
"මගේ හිතේ ඇති දහසක් පැතුමන් - ඔබ හට නැත කියලා....
කෙසේ අහන්නද මගෙ අත ගන්නට - සතුටුද ඔබ කියලා....."
ඒත් කොහොම හරි මම එයාට ලියුමක් ලියන්න හිත තද කර ගත්තා...
"මදු මල ලෙස මුදු මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි....
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි..."
......................................
එයා පන්ති එනකම් මම බලන් ඉන්නවා. මට මතකයි එයා එනවා දැක්කම මට දැනෙන සතුට.
"අනන්තයට යන පාර දිගේ... ඇය එනවා....//
ප්රාර්ථනාවේ.. මල්.. පොකුරු අරන්.. සීතල පිනි වැස්සේ..."
වෙලාවකට ම0 කියන දේවල් වලට මූන එල්ලගෙන ම0 එයාව යාලු කරගන්න කන් එයා නෝක්කාඩු බැල්මකින් මගේ දිහා බලාගෙන ඉන්නවා.
"කුමාරියක් වගේ නුබට රුව දීලා ඇත...
සිනා බිදක් මට දෙන්නට සිත දීලා නැත..."
..........................................
එයා රට යනව කිව්වා. ඒ කියන්නෙ සමහර විට මට අයෙ එයාව හම්බෙන එකක් නෑ. මොකද එයාලා දිගටම එහෙ ඉන්නලු යන්නෙ. එයා අඩනවා... එයාට මව අමතක වෙන්නෙ නෑලු.
"නිහඩ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඩයි..."
..........................................
අද මට එයාව දකින්න ලැබෙන අන්තිම දවස...
"මේ.. නගරය.. මා ඔබ මුන ගැසුනු නගරයයි....
මේ.. නගරය.. මා ඔබ වෙන් කෙරුනු නගරයයි...."
...........................................
එයා රට යනවා දැන් මට අයෙ එයාව හම්බෙන එකක් නෑ... ඒත් එකම එක දෙයක් මට කියන්න පුලුවන්...
"ඔබ මා හමුවුන මේ ඉර-හද යට...
කොතැනක සිටියත් මා මළ දවසක...
මගෙ ළග තනියට ඉනු මැනවී//"