Tuesday, September 4, 2018

පරෙයියා vs වස්සැප් - 1 කොටස

කලක් තනිවමැ හුන් අපගේ ධනුකයෝ මෑතක සිට උකටලීව සිටිනු දුටු අන්දරේ ධනුකයන් සමීපයට අවුත් මෙසේ අසන ලදී...

"අපගේ ධනුකයානෙනි... මා විසින් මෙසේ අසන ලද්දේය... ඔබ වහන්සේ මෑතක සිට ඉතා දුකසේ කල් ගෙවන බව පෙනෙන්නේය. බැංකු කෙල්ලකවත් ඔබ වහන්සේ සිත් සොරා ගත්තී ද?"

"ම්හු...!"

"ඉදින් ස්වාමීනී ඔබ වහන්සේ මෙසේ සිටිනුයේ මන්දැ?"

"මා එක් කෙල්ලක්ට පෙම් බඳිමි නමුත් මින් පෙර කෑලි කෙරුවාව නොකල බැවින් ඒ කෙසේ ටෝක් කරම්දෝ සිත සිතා මෙසේ උකටලවී ඉන්නේ" යැයි ධනුකයෝ පිළිවදන් දුන්නාහ.

එපවත් ඇසූ අන්දරේද,
"අපොයි රජුනි, ඒ නම් කිනම් කජ්ජෙක්දැ... අප රාජධානියේ බොහෝ කොට 'ලව් ගුරු' ලා සිටියි. ඔබ වහන්සේට බිය වීමට කම් නැතැයි ප්‍රත්‍යශයයෙන්ම කියාලා අප ධනුකයෝ අස්වැසීය.

***

රජ මාළිගයේ මහත් කලබලයෙකි. රජුගේ නව ලව් ගුරා විත් රාජ මාළිගයේ හුන් කෑලි වෙත කොකම්පාන්නේය... කෙලි කවට කරන්නේයැ. රාජ පුරුෂයෝද මේ ලව් ගුරාගෙන් තම තමන් ලයින් කරන කෙල්ලන් පරිස්සම් කර ගැනුමට වෙහෙසුනෝය.

මේ දුටු අන්දරේ ලව්ගුරා බෙල්ල මුලින් කුදලාගෙන වුත් ධනුකයන් පාමුල ඔබ්බවන ලද්දෙන්... ස්වකීය කොලු කෙලි රෑන පිරිවැරු ධනුකයෝ රාජකීය ලීලයෙන්ම "නුබ ලව් ගුරා දැයි" සැරෙන් විමසූහ.

එකල්හී ලව් ගුරාද "එසේය එසේය" යි කියමින් ධනුකෝ සමීපයේ සිට පවන් සලන කෙල්ලකට ඇසක් ඉඟි මැරවීය.

මේ දුටු ධනුකයෝ එනපොට හොඳ නැති බව දැන දැනම කාරණය කියනමෙන් අන්දරේට ඉඟි මැරීය.

****

"අපොයි ඒ නම් කිනම් සුදු ලූනු බිකක්දැ?" රජුගේ අවශ්‍යතාවය ඇසූ ලව්ගුරා කීයෙන් ධනුකයෝ සන්හුන් වූහ.

(ඊළඟ කොටස බලාපොරොත්තු වන්න)

No comments:

Post a Comment

ඔයාලගෙ අදහස් දෙන්න