Tuesday, October 3, 2017

 එකල්හී ධනුකයෝ මෙසේ කීහ...!

යට ගිය දවසැ සිරි ලංකා ද්වීපයෙහි ගම්පහ නමින් රමණීය නුවරක් වන්නේයැ. ඒ නුවරට අයත් රතුපස්වල නම් ග්‍රාමයෙහි ධනුක නම් වූ අසූ කෙලක් .......................... (@#$%&*) සිටින තරුණයෙකු වෙසෙන්නේයැ.
ඉදින් කරුණු කෙසේ වීදැයි... එක් දිනෙක අප කතා නායකයෝ එක් ඉරිමාවක කොළොම්තොට වාර්ෂික පොත් ප්‍රදර්ශනය බලනු රිසි සිය අක්කන්ඩි සමඟින් අවුත් රියෙන් බටහ.
"අම්මෝ මල්ලි බං ඒකෙ සෙනග" යැයි අක්කන්ඩිය වහසි කීයෙන් ධනුකයෝද මහත් වෙහෙස දක්වා "එසේය අක්කන්ඩිය, ඉදින් අවා නම් ඒ.ටී.එම් එකක් වෙත ගොස් කහවනු දෙදහසක් ගත යුතුව ඇතැයි කීහ.
එ පවත් ඇසූ සොයුරිය, "ආකේඩ් එකෙත් ඒ.ටී.එම්. එකක් ඇති ඒත් ෂුවර් නෑ කාගෙන් හරි අහමු" යි ගත් කටටම කීවාය.
***
ඉදින් කරුණු එසේ වූ කල්හී... අප ධනුකයෝ අක්කන්ඩියද ඇදගෙන ගොස් තුන් සක රියෙක රථාචාරී විමසූහ.
"එහෙමනං දන්නෙ නෑ ඇයි BMICH එක ඇතුලෙ ඇතිනෙ" යි රථාචාරී නොවලහා කීවද ගැහැනුන්ගේ ඒ සංසාරගත පුරුදු කොයි කල්හී වුවද මතු විය හැක්කේයයි කියන්නාසේම අක්කන්ඩිය මහත් තේජස් දක්වා රථාචාරී අපගේ මහත් ධනස්කන්ධය ඩැහැගනු රිසියැයි සිතන්නාසේ ධනුකයෝ ඇදගෙන යළිදු මඟට බට.
ඉදින් ඒ මග ඇවිදින් අවුත් ඒ මහා වාලුකාවෙහි ක්ෂේම භූමි දක්නා නුවනින් යුතු ධනුකයෝ එක් කහවනු ගත හැකි තැනක් දැක ඒ කරා ගොස් කහවනු දෙදහසක් ගන්නා ලද්දෙන් මහත් තේජස් දක්වමින් අක්කන්ඩිය පිරිවරා කොලු කෙලි පිරිවර පසුතබාගෙන වුත් ප්‍රදර්ශන භූමියට අතුලු වූහ.
ඉදින් මෙපරිද්දෙන් ප්‍රදර්ශන භූමියේ සිරි නරඹන කල්හී අක්කන්ඩිය එක් වරම වත්සුනු අලෙවි සැලක් දුටු යාය හතරේ කාල වර්ණ කෙල්ලක මෙන් නැවතිනි.
මේ අලකලංචිය කුමක්දැයි විමසන අප ධනුකයෝ මෙසේ විචාලහ.
"එම්බා අක්කන්ඩිය තී මෙසේ එක්වරම නැවතීමට කරුණු කිසිත් නොවලහාම මට හෙළිකල යුතුය."
ඊට පිලිතුරු ලෙස හිස නොහරවාම සුරත පෑ අක්කන්ඩිය මෙසේ බනවන ලද්දීය.
"අඩේ මල්ලී අර ඒ.ටී.එම්. එකක් තියෙනවා හලො. අපරාදේ අච්චර දුරක් ඇවිද්දේ."
(ඔබ දැන් මේ මහා වීර කාව්‍යයෙහි උත්කෘශ්ඨ වූත් මනහර වූත්, විලම්බීත වූත්, ධනූකයෝ පුපුරවන තරම් උනුසුම් වූත් කොටසට පැමිණ ඇත. )
 එකල්හී ධනුකයෝ මෙසේ කීහ...!
"එම්බා නිර්ලජ්ජිත මෝඩී. තිට මා රථාචාරී බස් ඇසීම මැනැවැයි කීවා නොවේද? දැන්වත් උත්තම පුරුෂයෙකු යමක් කී කල්හී ඒ ඉස් මුදුනින් ගනුව."

Monday, September 25, 2017

නිමේෂයක්

වැස්සත් එක්කම ඔෆිස් එකෙන් එළියට බැහැපු මම වැස්සත් එක්කම කෝච්චියටත්, ඒකෙන් බස් නැවතුමටත් එතනින් බස් එකටත් ගොඩ උනා.
මම සුපුරුදු විදිහට සින්දු අහන ගමන් ආවෙ. බස් එකෙත් සින්දු දැම්මා. මට ලොකු සතුටක් දැනුනා. මොකද ඒවා ක්ලැරන්ස්ගෙ සින්දු නිසා.
බස් එකේ සෙනඟ පිරිලා ඉතිරිලා මම වාඩිවෙලා හිටියේ පිටිපස්සෙම නිසා මට බස් එකේ ඉස්සරහ ගැන හොද දැක්මක් තිබුනා. වහින වෙලාවක එකට පොදි කකා තෙරපෙන සිතුවිලි වගේ සෙනඟ තෙරපෙන්නෙ කියලා මට හිතුනා.
ඒ අතර, අතරින් පතර මට එක එක විදිහේ චරිත පේනවා. ළදරුවාගෙ ඉදන් මහල්ලා දක්වා චරිත අතරෙ ඇස් දෙතුන් වරක් හැරිච්ච චරිතත් නොතිබුනාම නෙමෙයි.
මට නොදැනීම සින්දු ටික නැවතිලා.
***
"මල්ලි කොහෙන්ද බහින්නෙ...?"
"රතුපස්වල..."
"මාරුකාසි නැද්ද...?"
"නෑ..."
***
ෆෝන් එක දිහා බලන් හිටපු නිමේෂෙට චරිත ගොඩක් වෙනස් වෙලා. අලුත් චරිත ඇවිත් වගේම තිබුන චරිත අයින් වෙලා. හරියට ටෙලි නාට්‍යක් බලන්න බැරි වෙලා මඟ ඇරුනා වගේ
***
හිත කොහෙන්දෝ පාවෙලා ආපු සිතුවිල්ලක ගැඹුර මනිනවා. අපේ ඇස් නොගැටුන එක නිමේෂයක් ඇති අපි කැමති චරිත අපේ කතාවෙන් අයින් කරවන්න.
මොහොතක් හිතුවොත් ඒක ලෝක ස්වභාවය වගේම ඒක මනුස්ස හිත. ඒ කොහොම උනත් ඒ තර්කයට මගේ හිත නම්මවා ගන්න බෑ වගේ.
නොදැනීම දුර ආපු හිත එක නිමේෂයකදී එක පාරට මට ඇඟිල්ලෙන් ඇනලා "බහින්නෙ නැද්ද...?" කියලා අහන්නෙ නැතිවෙන්නෙ මම තාම අර සිතුවිල්ලෙ එල්ලිලා කොහේදෝ යනවා.

Saturday, September 9, 2017

අවසානය...!


ජීවිතය කියන්නෙ සින්දු අහනවා කියන එකටම තමයි. මොකද ජීවිතේ කියන්නෙත් සින්දුවක්. අපි සින්දුවක් අහනවා... එතකොට ඒ සින්දුවෙ රස අපි විදිනවා විනාඩි කීපයකින් ඒ රස ඉවර වෙනවා. ඉතින් ඒ සින්දුව අපිට සතුට ගේනවා නම් සතුටක් දැනෙයි නැත්නම් දුකක් දැනෙයි. හරියට අපි ජීවිතේ මුහුණදෙන සිදුවීම් වගේ.
මම ජීවිතේ එක කතාවක් පටන් ගත්තු හැටි ලිව්වා එක බ්ලොග් පෝස්ට් එකකින්. දැන් ඒ කතාව ඉවර කරන්න යන්නෙ පෝස්ට් එකකින්ම.
කතාව ඉවර කරලා ටික දවසක් උනත් (හරියටම 2017-08-19) ලියන්න වෙලාවක් තිබුනෙත් ශක්තියක් තිබුනෙත් නෑ.
මේ කතාව පටන් ගත්තේ...
"මම සාමාන්ය පෙළ කරන කාලෙදි විද්යාව ඉගෙන ගන්න ගෙවල් ගාව පන්තියකට ගියා..." කියලා...
දැන් ඉවර කරන්න හදන්නෙ.
ඉතින් ඒ ළමයාගෙන් මම ඇහුවා... මම පරක්කුයි...
කොහේදෝ පාලු මූසල හවසක වැස්සක් වෙලාවෙ තනිවෙලා වගේ මට දැනුනා.
ඒ මැවුනු වැස්ස මට මුමුණනවා...
"යුවතියකට ඔබ ආදරෙ නම්... ඇයට පවසන්න... පැවසීමට අත පසුවේනම් ඇය ගැන නොසිතන්න..."
ඉවසගෙන කරුණු කාරණා හොයලා බැලුවා. ඇය මට යමක් සඟවලා
"ඔබ කැමති නම් මට කියන්න... මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිදලා..."
මැවුණු වැස්ස මාව සීතලෙන් අසරණ කරනවා. හරියට නන්නාදුන කෙනෙක් වගේ.
***
මිල්ටන් මල්ලවාරච්චි ආයෙත් පාරක් එදා  වගේ අදත් මං වෙනුවෙන් ගායනා කරනවා ඔහුගෙ හිත් බිදුනු හඬින්...
"කෙසේ කියන්නද... ඔබ මා අත.. හැර... ඉවත ගියා කියලා... මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා..."
ඔව් මම ලෝකෙටම කිව්වා... අදත් මට ඒ මූණ මතකයි හරියට හීනයක් වගේ හැබැයි ලස්සන හීනයක්... හීනේ අවසානය ලස්සන නැතත් අපි ඒ හීන වලට කැමැතියි හැමදාම.
මගේ දෙමව්පියෝ මේ කතාව දන්නවා. එයාලා කොච්චර පරිනතද කියන එක මට ඒ වෙලාවෙ හොඳට දැනුනා.
***
මම තාමත් විශ්වාස කරන දෙයක් අපි දෙයක් අවබෝධ කර ගන්න ඕනෙ අත්දැකීමෙන් මිසක් කාගෙවත් වචනෙට නෙමෙයි. ඉතින් සින්දු උනත් නියම රස දැනෙන්නෙ ඒ සින්දුවේ කතාව හරියටම දැනුන වෙලාවට.
හරියටම.....
 "ඔබ රවටා නැත... ඔබ හඩවා නැත... දැන දැන මා නම් වැරදි කලේ නැත... ඔබ ගැන මට පුදුමයි... වෙනසක තතු නොහැගෙයි..."