Friday, November 3, 2017

2.නිසරු බිමෙහි දිය බිදක් සොයා

බිම් කැනීම ඇරඹී දින 3 කුත් රාත්‍රී 2 කුත් ගෙවී ගියේය. දෙතැනක පමණක් පසෙහි වියළි ස්වභාවය ක්‍රමයෙන් හීන වී ගොස් මඩ සහිත ස්වභාවයක් ගත් නමුත් ජල නිධියක සේයාවකුදු නොවීය.
භූමි ස්වභාවය අනුව ජලය පැවතිය හැකියැයි වඩාත්ම අනුමාන කල ස්ථානය දිගින් දිගටම කැනිය යුතු බව තීරණය කරන ලදී.
***
නිදි නොලැබ කනින සිව් වන දිනයට ළහිරු උදාවිය. පිරිසෙහි බලාපොරොත්‍තු කඩ නොවනු පිනිස ධනූද කැනීමේ කටයුතු සඳහා එක් වූයෙන් එයම පිරිස වෙත පොඳ වැස්සක් විය.
පස ක්‍රමයෙන් මොලොක් ස්වභාවයක් උසුලන්නට වූයෙන් පිරිස ඔඳ වැඩී වැඩෙහි නියැළුනු දක්නට ලැබිනි.
***
එක් වරම පිපිරුම් හඩක් ඇසුනෙන් දූවිල්ලක් පරිසරය වසා ගති. මොහොතක නිහැඩියාවක් සමඟින් ජලය අහසට නැගී සියල්ලෝම තෙමා පොගවා දමන ලද්දෙන් ඔල්වරසන් හඬක් පැතිරිනි.
***
ජල නිධිය විශාල නොවූවද ධනූ සෑහීමකට පත් විය. නමුත් ස්ථාවර තත්වයකට පත්වන තුරු ජලය ඉතාම ප්‍රවේශමින් පරිහරනය කල යුතු බැව් අවධාරනය කෙරිනි.
ජලය සම්බවූ දිනය පටන් නව රාජධානියේ ආරම්බක දිනය ලෙස ගත යුතු බවට තීරණය කරන ලදී. භූමිය සොයා ආ තැන් පටන් ලේඛන ගත කල යුතු බවට යෝජනා විය. ඒ සඳහා පිරිස් පත් කරන ලදී.
***
ජල නිධිය මැදිකොට ජලාශයක් ඉඳිකලයුතු බවට ධනූ තීරණය කල අතර පිරිසෙන් කොටසක් ඒ වෙනුවෙන්ද තවත් පිරිසක් ආහාර වගාව සඳහාද යොදවන ලදී. ආහාර වගා කිරීමට පළමු කුඩා දිය අඟල් සාදා ඒවා භූමිය පුරා විසිර යාමට සකසන ලදුව සති කිහිපයක් පුරා නොනවත්වා ජලය ගලා යාමට සළස්වා මඩ ස්වභාවයක් ඇති කොට වී වගාව ඇරඹීමට තීරණය විය. පොල් ගස් වගා කිරීම පිනිස ආහර සංචිතයේ තිබූ පොල් ගෙඩි ප්‍රමාණයක් පැළවීමට තැන තැන විසිරුවා දමන ලදී.

ධනූගේ දේශය - 1.කෙම් බිමක් සොයා

ඒ වන විට ලෝකයේ බොහෝ දාර්ශනිකයන්, මතවාද දරන්නන් සුලබ විය. පෘතුවි තලයේ විපර්‍යාස බොහෝ විය. යුද්ධ බොහෝ ගණනක් ඇතිවිය.  මුල් බිම් විනාශ විය. ප්‍රභල යැයි සම්මත රටවල් බිඳ වැටුණි. නව දේශාටන ඇරඹී තිබුණි. නව භූමි සොයා ඇදෙන නායකයින් සුලභ විය.

***

ඒ අතර වසර ගණනාවකට පළමු ලංකාව යැයි හැඳින්වූ බිමෙහිද  එක් ප්‍රදේශයක දේශාටනයක් ඇරඹී තිබුණි. අපි එහි නායකයා "ධනූ" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඒකල  දහසකට තරම් ආසන්න කුඩා අනුගාමිකයන් රැසක් ධනූගේ දර්ශනය පිළිගෙන එය අනුගමනය කරමින් ධනූ සමඟ ගැවසෙන්නට විය. දිගු ගමනකින් වෙහෙසට පත්වූවද පිරිසෙහි නැවතීමක් නොපෙනින. ධනූගේ මතය පිළිගත් පිරිස ඔහුට ඉතා පක්ශපාතී බව පෙනින. නොයෙකුත් විපර්‍යාස හමුවේ හෙම්බත් වූ භූමි තලය දුහුවිල්ලෙන් පිරි නිස්සාර බිමක් විය. පෙනෙන තරම් දුර වියලි විය. සෑහෙන තරම් දුර ගිය නායකයා නැවතිනි. පිරිස ඉද්ද ගැසුවාක් මෙන් නැවතිනි.

***

භූමිය තෝරා ගන්නා ලදී. පළමු කොට කූඩාරම් ඇඳ වාඩිලා ගන්නා ලදී. සත්තු සර්පයින් ඇරුනු විට, ස්වභාව ධර්මයාගේ බාධාවක් ඇරුනු විට වෙනත් උවදුරක් නොපෙනින. මහා කූඩාරමක් තුල නව රාජධානියේ කටු සටහන් නිමවනු ලැබීය. පිරිසෙහි වූ දක්ෂ චිත්‍ර ශිල්පීන් විසින් නොයෙකුත් ආකාරයේ ගෘහ නිර්මාණ අදහස් දැක්වූ අතර, නායකත්ව ලක්ෂණ පෙන්වූ කිහිප දෙනෙකු මූලික කොට කුඩා කුඩා කණ්ඩායම් බෙදනු ලැබීය. පිරිස් කළමනාකරනයේ මූලික සැකැස්ම මෙසේය.

1.ආහාර සහ ජලය සෙවීම සහ සෞඛ්‍ය සදහා
2.ආරක්ශාව සඳහා
3.ඉදිකිරීම් සඳහා
4.තීරණ ගැනීම සහ ගැටලු විසදීම සඳහා
5.මිනිස් බලය සඳහා

***
පෙනෙන තෙක් මානයේ නිසරු භූමිය වුවද ආරක්ෂාවට පවුරක් ඉඳි කලයුතු බව ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අදහස විය.

සියල්ලටම පළමුවෙන් ජල නිධියක් සෙවිය යුතු බව ධනූගේ අදහස වූයෙන් ඒ සඳහා අවශ්‍ය හැකියාවන්ගෙන් යුතු සහ දැනුමින් යුතු පිරිසකට එය පවරා මිනිස් බල පිරිස ඊට යොදවනු ලැබීය. මේ වන විටත් සන්තකයේ පැවති ජලය ඉතා සීමිත වූ බැවින් එය ඉතාම අවධානම් සහගත අවස්ථාවක් වුවද පිරිස නායකත්වයට අවනත වීමේ අවශ්‍යතාව හොඳින් දැන සිටි බැවින් කැරලි ඇති නොවීය.

***

මෙවැනි කාර්‍යයන් සඳහා දක්ශකම් දැක්වූ "ජලය සොයන්නන්" විසින් දිනය අවසන් වන විට භූගත ජල නිධි පැවතීමට ඉඩ ඇති ස්ථාන කිහිපයක් සළකුණු කල අතර මිනිස් බල කණ්ඩායම එම ස්ථාන කැනීම ආරම්ඹ කරන ලදී.

අවශ්‍ය වුවහොත් පහසුකම් සැළසීමට ආරක්ෂක කණ්ඩායම සහ සෞඛ්‍ය අංශ සීරුවෙන් තබන ලදී.